web analytics
comman කාලීන 

අධික ශබ්දයන් සීමා කරමු..

මිනිසාගේ ශ්‍රවනේන්ද්‍රිය උපතින් ම ශබ්ද ධාරිතාවන්ගේ සීමාසහිතව පිහිටා ඇත. අධික ශබ්දය හේතුවෙන් සහ අවම ශබ්දය හේතුවෙන් යන දෙයාකාරයෙන් ම ශ්‍රවනේන්ද්‍රිය නොඇසී යා හැකිය. ශබ්දය මනිනු ලබන්නේ ඩෙසිබල් (db) වලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඩෙසිබල් 85 කට වැඩි ශබ්ධයන් කනට හානිකර බවයි. යුරෝපා සංගමය සිදු කළ පරීක්ෂණයකට අනුව ඉයර්ෆෝන් එකක හඬෙහි ශබ්දය 120 db වේ. පුද්ගලිකව ශබ්දයෙන් සිදුවන සෞඛ්‍ය හානිය අවම කරගන්නා සේ ම පොදු සමාජයේ  වගකීම වන්නේ ද  ශබ්දය නිසා ඇතිවන හානිය අවම කිරීමට දායක වීමයි. අතීතයේ දී අපට පරිසර දූෂණය ගැන හෝ ශබ්ද දූෂණය ගැන අසන්නට නොලැබුණි. කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ ප්‍රතිපල සංවර්ධන ක්‍රියාදාමය ලෙස භාරගන්නා විට අනිත් අතින් පරිසරයට, සතුන්ට, ගහ කොලට, ඇල දොලට ඇති වූ හානිය පරිසර දූෂණය ලෙසින් හඳුනා ගනිමු.

ශබ්ද දූෂණය මර්දනය කිරීම සඳහා ලෝකය පුරා නීති රීති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙය කාලෝචිත කාරණයක් බවට පත්ව ඇත්තේ පරිසර දූෂණය සම්බන්ධව පොදුවේ සාකච්ඡා කරන අවස්ථාවන් හිදී ශබ්ද දූෂණය පිළිබඳ අවධානය යොමු කරවීම අවම මට්ටමක ඇති නිසාවෙනි.  පරිසරවේදින්, පරිසර විද්‍යාඥයින්, පරිසර සංවිධාන ආදිය ශබ්ද දූෂණය කෙරෙහි ගෝලීය වශයෙන් ගත් කල විශේෂ සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන් යුරෝපා සංගමය විසින් අලුත් නීතියක් සිය රටට පනවා ඇත. ඒ හඬෙහි සීමාවන් ඉක්මවා යන ඉයර්ෆොන් ගෙන්වීම තහනම් කිරීමයි. ශ්‍රී ලංකාවේ ද මෙම වසරේ දී අධික ශබ්දය අවම කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇත. පසුගිය අගෝස්තු මස දී අධික ශබ්දයන් නිකුත් කරන නළාවන් (Hooters/Horns) ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩා පිටි තුළට ගෙන ඒම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් තහනම් කර ඇත. එලෙස නළා ගෙන එන්නන් පරීක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව සඳහන්ය. පා පන්දු ක්‍රීඩාවේ ජනප්‍රියත්වය සමඟ ඇති වූ මෙම නළා උන්මාදය මේ ආකාරයෙන් සීමා වීම සෞඛ්‍ය සම්පන්නය. නැතිනම් විස්තර විචාරයට වඩා ඉහළින් ඇසෙන නළාවන්ගේ හඬ හේතුවෙන් තරඟය නරඹන්නන්ගේ කන් නොඇසී යනු ඇත.

පොදු ස්ථානයන්ගේ අධික ශබ්දයන්  සීමා කිරීමට ගත් තවත් පියවරක් පොදු ප්‍රවාහන සේවා බස් රථ වල ක්‍රියාත්මකයි. එනම් බස් රථ වල ශබ්දාධිකව ක්‍රියාත්මක කර ඇති ගුවන්විදුලි හෝ රූපවාහිනී යන්ත්‍රයන්ගේ හඬ අඩු කරන්නැයි කොන්දොස්තරවරයාගෙන් ඉල්ලුම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීමයි. සාමාන්‍යයෙන් අධික ශබ්දය මිනිසාට ස්වභාවයෙන් ම හිරිහැරදායකය.  විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත්තේ නිරන්තරයෙන් අධික ශබ්දයට ගොදුරු වීම නිසා අධිබ රුධිර පීඩනය, ස්නායු දුර්වලතා, මානසික අසහනය, පිළිකා, ශ්‍රවනාබාධ වැනි ආබාධ වලට ගොදුරු විය හැකි බවයි. අධික ශබ්දයන් පාලනය කිරීම නීති රීති මඟින් ම කළ නොහැක්කකි. ශබ්දය භාවිත කරන සීමාවන්, ධාරිතාවයන්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී වැදගත් වේ. කර්මාන්තශාලා හිමියන්, ශබ්ද උපකරණ නිශ්පාදනකරුවන් ආදී සියල්ල ම මේ කර්තව්‍යයට දායක වීම වටින්නේය.

 

k,sksld ,laIdKS

Related posts

Leave a Comment