web analytics
comman සංවාද 

හරිත සංකල්පයේ සාර්ථකත්වයට උද්‍යාන අංශයෙන් ලබා දෙන්නේ මහත් සහයෝගයක්. උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධති අතරින් පළමු වන හරිත විශ්වවිද්‍යාලය වශයෙන් ගෞරවයට පාත‍්‍ර වී තිබෙන කැලණිය විශ්වවිද්‍යාලයේ පරිසර හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්  උද්‍යාන පාලන අංශයට මහත් කාර්යය භාරයක් පැවැරී තිබේ. විශ්වවිද්‍යාලයේ පවතින ස්වභාවික වටපිටාව නඩත්තු කරමින් හරිත සංකල්පය කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙන උද්‍යාන පාලන සහ උද්‍යාන අලංකරණ අංශය වර්තමානයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. මෙම සටහන කැලණිය විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලන අංශයේ උද්‍යාන සංරක්ෂක එන්. එම් අරුණ ශාන්ත මහතා සමඟ කළ සංවාදයකි.

ඇත්තටම උද්‍යාන අලංකරණ අංශයෙන් සිදු කරනු ලබන කාර්යභාරය මොකක්ද?

උද්‍යාන පාලන අංශයෙන් සිදු කරනු ලබන මූලිකම කාර්යභාරය වන්නේ විශ්වවිද්‍යාලයේ සමස්ත පරිසර පද්ධතිය නඩත්තු කිරීමයි. එසේ නැතහොත් අලංකරණය කිරීමයි. පරිසරය සංවර්ධනය, නඩත්තුව සහ රැක බලා ගැනීම මෙම අංශයෙන් මූලික වශයෙන් සිදු කරනු ලබනවා. ඊට අමතරව හරිත සංකල්පයට අනුකූලව සිදු කරනු ලබන බොහෝ වැඩසටහන් වලට අපගේ පූර්ණ සහයෝගීත්වය ලබාදීමත් සිදු කරනවා. අපි දකිනවා වර්තමානයේ විශ්වවිද්‍යාලයේ තැන් තැන්වල ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ අවස්ථා වල විනාශ වන පරිසර පද්ධතිය නැවත සකස් කිරීමත් අප විසින් කළ යුතුයි. එහිදී අප නැවත රෝපණය කළ යුතු පැල අප විසින්ම සකස් කර ගනු ලබනවා. ඒ සඳහා පුහුණුව ලත් සේවක පිරිසක් මෙන් ම දැනුමක් පැවතීමත් මෙහිදී ගොඩක් වැදගත්. මෑතක දී අපට අලූත් පැල තවානක් ලැබී තිබෙනවා. ඒ තුළ තමයි අලුත් පැල නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ.

විශේෂයෙන්ම ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහා අවශ්‍ය පැළ පෝච්චිවල සිටුවා වෙනම නඩත්තු කිරීමක් කරනවා. බාහිර අලංකරණය සඳහා අවශ්‍ය කරන පැල පෝච්චිවල සිටුවා වෙන මම නඩත්තු කිරීමක් සිදු කරනවා. මේක ක්‍රියාවලි දෙකක්. තවත් අලංකරණ කටයුතු වෙනුවෙන් ම අපි ඇන්තූරියම් සහ  ඕකීඞ් වගාවක් පවත්වා ගෙන යනු ලබනවා. තවත් කාරණයක් තමයි විශ්වවිද්‍යාලයේ  ඕනෑම කටයුත්තකට අදාළ ව මල් පෝච්චි සහ වෙනත් අලංකරණ පැල 500-1000 ක් පමණ අප සතුව තිබෙන නිසා කිසිම අවස්ථාවක බාහිරින් මුදලට ගැනීමක් සිදු වන්නේ නැහැ.

x       විශ්වවිද්‍යාල අලංකරණය සදහා උද්‍යාන අංශයෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

බොහෝවිට අභ්‍යන්තර අලංකරණය සඳහා හැම පැලයක් ම භාවිත කළ නො හැකියි. එනිසා අප ඒ වෙනුවෙන් කේම් ෆාම්, කෙන්ටි ෆාම්, මැකාතුරියා, ඩිබන් බතීයා ආදී නොයෙක් ආකාරයේ සුවිශේෂී පැල වර්ග අපි පෝච්චිවල සිටුවීම සඳහා තෝරා ගෙන තිබෙනවා. සමහර අපි භිවිත කරන ශාක පරිසරයේ තිබෙන විස පවා අවශෝෂණය කර ගන්නවා. ඒ කියන්නෙ යම් යම් අංශවල අපි දකිනවා බොහෝ තාක්‍ෂණික උපකරණ ක‍්‍රියාත්මක වෙනවා. මේවායෙන් අහිතකර වායූ පරිසරයට මුදාහරිනු ලබනවා. නමුත් අපි වවන සමහර ශාක එම විශ වායූන් අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්තයි. ඞීබන් බාතීයා ශාකය ගත්විට එය 75% ක් 80% ක් වගේ පරිසරයේ තිබෙන අහිතකර වායූන් වන කාබන් මොනොක්සයිඞ් වගේ දේවල් අවශෝෂණය කරගැනීමක් සිදුකරනු ලබනවා. කේම් ෆාම්, කෙන්ටියා පාම් වැනි ශාක අපි අභ්‍යන්තර අලංකරණයට යොදා ගන්නේ අලංකාරය වගේම අහිතකර වායූ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් ද පවතින නිසයි. ඒ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

x       මෙම පරිසර සංරක්‍ෂණ සහ නඩත්තු කටයුතුවල දී උද්‍යාන අංශයට පවතින බාධක මොනවාද?

සාමාන්‍යයෙන් නියඟයක් වැනි තත්වයක දී තමයි ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ. නමුත් අප එයටත් පිළියමක් වශයෙන් හරිත සංකල්පය යටතේ වැසි වතුර එකතු කිරීමේ වැඩසටහන ඔස්සේ ජලය එක්රැස් කර තිබෙන නිසා දැඩි නියඟයක් ආවත් එයට ඔරොත්තු දීමේ හැකියාවක් අපට තිබෙනවා. අප සිදුකර තිබෙන වැසි වතුර සංරක්ෂණ ඒකකයේ ධාරිතාව ලීටර් 60000 ක් පමණ වනවා. හැබැයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුම් පවතින අවස්ථාවල අපේ පාත්ති වලට පැල වලට හානි සිදුවන අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් අධ්‍යයන, අනධ්‍යයන, ශිෂ්‍ය යන සෑම කෙනෙකුගේ ම සහයෝගය අපට ලැබී තිබෙනවා. පැළ සිටුවීමට කොම්පෝස්ට් සෑදීමට ශිෂ්‍යයින් ස්වේච්ජාවෙන් ඉදිරිපත්වෙලා සිටිනවා. ඔවුන් මල් වැවීමත් කරනවා. හරිත කවය වැනි පරිසර කමිටු නිසා බොහෝ දෙනා පරිසරය පිළිබඳව දැනුම්වත්. ඒ නිසා අපිට තිබෙන අභියෝග සහ ගැටළු ගොඩක් වෙලාවට අවම වෙලා තිබෙනවා.

මේ සඳහා ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා. උපකුලපතිතුමාගේ සිට පහලම සේවකයා දක්වා සෑම කෙනෙක් ම උපකාර කරනවා. ඔවුන්ට මෙහි අවශ්‍යතාවය බොහෝ සෙයින් වැටහී තිබෙනවා. අපෙන් විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු වලට සිදුවන සේවය අවබෝධකරගෙන තිබෙන නිසා නිතරම අපව දිරිමත් කරනවා.  ඕනෑම උත්සව අවස්ථාවකදී ඔවුන් අපව හොයාගෙන එන්නේ අපි අපේ සේවය නිවැරදි ලෙස ඔවුන්ට ලබාදීම නිසාම තමයි.

උද්‍යාන අංශයේ ඇති පැල නඩත්තු කිරීම සිදු වන්නේ කුමන ආකාරයෙන් ද?

අපි නඩත්තු කටයුතු දෛනිකව සිදු කරනු ලබනවා. යම් යම් අවස්ථාවල පැල වලට ලෙඩ රෝග වැලදීම්, කෘමි හානි සිදුවීම් විය හැකියි. ඒ නිසා අපි නිතරම ඒ පිළිබඳ අධීක්‍ෂණය කරනු ලබනවා. ඒ සඳහා අපට හොඳ සේවක පිරිසක් සිටින නිසා උදේ සවස යන අවස්ථා දෙකේදී ම නඩත්තු කටයුතු සිදු කරනු ලබනවා.

මේ සඳහා කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙවර්ගයම අවශ්‍ය වනවා. එහිදී කාබනික පොහොර අපි කොම්පෝස්ට් ව්‍යාපෘතිය ඔස්සේ විශ්වවිද්‍යාලයෙන් ම ලබාගන්නවා. දෛනිකව කසල කිලෝ 300 ක් පමණ අපය ලැබෙනවා විශ්වවිද්‍යාලය ඇතුළතින්. ඒවා පොහොර බවට පත්කර අපි පැල සඳහා යෙදීම සිදු කරනවා. නමුත් ඇන්තූරියම් සහ  ඕකීඞ් වැනි පැල සඳහා අවශ්‍ය රසායනික පොහොර අපි පිටින් ලබාගැනීමක් සිදු කරනු ලබනවා.

හරිත සංකල්පය යටතේ සිදුකරනු ලබන ප‍්‍රධානම ව්‍යාපෘතියක් වන කසල කළමනාකරණය ව්‍යාපෘතිය උද්‍යාන අංශය මඟින් තමයි සිදු කරනු ලබන්නේ. ඒ වගේම කාබනික පොහොර නිෂ්පාදනයත් උද්‍යාන අංශයෙන් සිදු කරනු ලබනවා. මේ වෙනකොට ඉවත දමන කඩදාසි කාඞ්බෝඞ් වැනි දෑ එකතු කිරීමෙන් අනතුරුව අපි යම් ආයතනයකට ලබාදීමෙන් රුපියල් ලක්‍ෂ තුනක් හතරක් වැනි ප‍්‍රමාණයක් ලබාදීලත් තිබෙනවා. මේ සඳහාත් අධ්‍යයන අංශ වලින් අපට සහයෝගය ලැබෙනවා. කාබනික පොහොර ව්‍යාපෘතිය ඔස්සේත් අපි මේ වෙනකොට විශාල මුදලක් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ලබාදී තිබෙනවා.

x       උද්‍යාන අංශයේ ඉදිරි සැලසුම් මොනවාද?

අපේ අදහසක් තිබෙනවා පැල වගාව සම්බන්ධයෙන් උපදේශන සේවාවක් පවත්වාගෙන යන්න. එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින්නේ. මේ තුලින් වගා කටයුතු කිරීමට කැමැත්තක් දක්වන නමුත් ඒ සඳහා දැනුමක් නැති පුද්ගලයින්ට අවශ්‍ය කරන දැනුම ලබා දීමට අප කටයුතු කරනු ලබනවා. කොහොමද පැල සිටුවන්නේ, පොහොර යොදන ආකාරය, ලෙඩ රෝගවලට මුහුණු දෙන ආකාරය ආදී බොහෝ දේ ඒ තුළින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොහොර නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් අපි බලාපොරොත්තු වෙනවා පළතුරු පැල සකස් කිරීමේ ව්‍යාපෘතියකට යන්න වගේම ඒවා විකිණීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා.

උද්‍යාන අංශයෙන් අලංකරණ සේවා ලබා ගත හැක්කේ කෙසේද?

එය සරල ක‍්‍රියාවලියක්. යම් අධ්‍යයන අංශයක කිසියම් උත්සවයක් තිබෙනවා යැයි සිතමු. එහිදී කළ යුත්තේ අංශාධිපතිවරයා මගින් අපව ලිපියක් මාර්ගයෙන් ලිඛිතව දැනුම්වත් කළ යුතුයි. පසුව අප එම උත්සවය තිබෙන ස්ථානය පරීක්‍ෂා කර එම උත්සවය ජාතික මට්ටමේ එකක්ද, ජාත්‍යන්තර මට්ටමේ එකක් ද නැතිනම් ශිෂ්‍යයින්ගේ එකක් ද යන වග නිරීක්‍ෂණය කර අදාළ සම්බන්ධීකාරකවරයාත් සමඟ තැනට ගැළපෙන ලෙස අපේ සේවය උපරිමයෙන් ලබා දීම සිදු කරනු ලබනවා.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට ඔබ දෙන පණිවුඩය මොකක්ද?

විද්‍යාථීන්ගෙන් ඉල්ලා සිටීමට තිබෙන්නේ, නිරන්තරයෙන් පරිසරය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් කැප වෙන්න කියලයි. පරිසරයට අහිතකර පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ භාවිතය අවම කරමින් සහයෝගය ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු ශක්තියක්. වර්තමාන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් අපට විශාල සහයෝගයක් මේ සඳහා ලැබෙන බවත් සඳහන් කළ යුතුයි.

මේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ගොඩක් හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. මුලින්ම සමස්තයට මේ සම්බන්ධයෙන් පැහැදීමක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ බොහෝ දෙනා දැනුම්වත් වෙලා ඉන්නෙ. මෑතක දී අපේ ස්වේච්ඡා කණ්ඩායමක් අධ්‍යයන අංශවලට ගිහින් පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවා සිදු කළා. ඒ අනුව ප.ව 03.30 වන විට වායු සමීකරණ යන්ත‍්‍ර ක‍්‍රියා විරහිත කිරීම වැනි දේ සිදු කරනු ලබනවා. උපකුලපතිතුමාගේ දැනුම්දීමෙන් ලේඛකාධීකාරීතුමා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා නිවසින් ගෙනෙන පොලිතින් පවා නැවත ගෙන යන ලෙසට. ඒ වගේම ආපනශාලාවන්හි පොලිතින් භාවිතයක් ඇත්තේම නැහැ. මේ නිසා ලැබෙන ප‍්‍රතිචාර ගොඩක් හොදයි.

සංවාද සටහන

අමිල නුවන් මධුසංඛ

Related posts

Leave a Comment