web analytics
You are here
comman තෙවැනි ඇස 

මනුෂ්‍යත්වයට ගරහන්න එපා

දැන්වීම් යනු මාධ්‍ය සංස්කෘතිය තුළ ඉතා වැදගත් අංගයකි. එමෙන්ම එය ඉතා බලපෑම් සහිත සමාජ සංදේශයන් නිකුත් කරයි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයේ දැන්වීම් යනු මිනිසුන් සහ බඩු භාණ්ඩ පිළිබඳ අරුත් කියා දෙන හෝ පෙන්වා දෙන ඉතා ප‍්‍රබල මාදිලියකි. ”ජාලි” නම් චින්තකයා පෙන්වා දෙන ආකාරයට ලිංග භේදය යනු දැන්වීම්කරුවන් විසින් ඉතා බහුල ලෙස භාවිතයට ගන්නා සමාජ මූලාශ‍්‍රයන්ගෙන් එකකි. මෙම අදහස සනාථ වන ප‍්‍රධාන කරුණ නම් දැන්වීම් තුළ දක්නට ලැබෙන ප‍්‍රධාන තේමාවන් ලිංග භේදය හා ලිංගිකත්වය මත පදනම් වන නිසාය.

දැන්වීම් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඒවා ස්ථීර ලෙසම කාන්තාව පුරුෂයාට යටත් සහ ඔහුගේ පරිභෝජනය පිණිස පවතින දෙයක් ලෙස ප‍්‍රචාරය කරන බවයි. වඩාත් ගැටළු සහගත තත්ත්වය නම්, දැන්වීම් මඟ‘න් කාන්තාව සහ ඔවුන්ගේ ලිංගිකත්වය ප‍්‍රදර්ශනය කරනුයේ භාණ්ඩයක් ලෙස වීමය. දැන්වීම් මඟින් මූලික වශයෙන් පතල කෙරෙන අදහස නම් කාන්තාව යනු ලිංගික මෙවලමක්, භාණ්ඩයක් හා පහත් ගණයේ ජීවියෙතු යන්නයි.

කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපළ තුළට ඉදිරිපත් කිරීම පුරුෂයාට සාපේක්ෂව බහුලව දැකිය හැකිය. පිරිමින් සම්බන්ධ රූප රාමු වලදී ඔවුන් ඉතා කඩිසර, නිර්භීත, උසස් චරිත ලක්ෂණ වලින් හෙබි අය ලෙස පෙන්වීමට උත්සාහ දරන අතර ගැහැණියගේ මුදු මොලොක් බව, රූමත්කම පමණක් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. පුරුෂයා තුළ පවතින කඩිසර බව පෙන්වීමට වේගවත් සංගීත රිද්මයක් යොදා ගැනීමත්, කාන්තාවගේ මන්දගාමී බව පෙන්වීමට ඒ හා සමාන සංගීත රටාවක් උපයෝගී කර ගනී. මේ ක‍්‍රමය තුළින් වෙළඳ භාණ්ඩය විතුණා ගැනීමට පාරිභෝගිකයා තුළ උනන්දුවක් ඇති කරනවා මෙන්ම කාන්තාව කෙරෙහි ඇති සමාජ මතය තහවුරු කිරිම ද සිදුවේ.

එක් දැන්වීමක අඩනිරුවත් කාන්තාව පැද්දි පැද්දි යන්නේ ටයරයෙහි ඇති වටිනාකම පෙන්වීමටය. තවත් අවස්ථාවක මෙට්ටයක් උඩ තරුණියක අඩනිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිදු පහස ඉස්මතු කිරීමටය. පිරිමියාගේ විලවුන් වර්ගයේ සුවඳට ඇදී එන තරුණිය ඔහුව ස්පර්ශ කරන්නේ ඉතා සරාගී ආකාරයෙනි. මෙම ප‍්‍රචාරණයන් හරහා සමාජගත කරනු ලබන කරුණ වන්නේ කාන්තාව යනු ළ`ද බොළඳ, මටසිලූටු, මෘදු, සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති තැනැත්තියක් බවයි. නමුත් කාන්තාව යනු පිරිමියා මෙන්ම සමාන හැකියාවන් ඇති, කුසලතාවයන්ගෙන් පිරිපුන් තැනැත්තියකි.

තරඟකාරී වෙළඳපළ තුළ ලාභය පසුපස හඹායෑමේ තරඟයෙන් ජය ගැනීමට ස්ත‍්‍රීත්වය භාවිත කිරීම අද වන විට යුහුසුලූව සිදු වන්නකි. ස්වභාවයෙන් ම ස්ත‍්‍රියට හිමි ලාලිත්‍යය වර්තමානයේ සුලභ  අලෙවි භාණ්ඩයකි. වර්තමාන සමාජය තුළ ස්ත‍්‍රිය පිිළිබඳ ආකල්පය ඉතා පහත් මට්ටමකට ඇද දැමීමට මෙය හේතුවකි. ලොව සුන්දරම වස්තුවක් වන ගැහැණිය, ඇය පිළිබඳව වන සමාජ ආකල්පයන් හරහා මෙවන් පහත් තත්ත්වයකට ඇද දැමීමට වර්තමාන වෙළඳ දැන්වීම්කරුවා උත්සාහ ගැනීම සමස්ත සමාජයේ ම පිරිහීම සනිටුහන් කරන්නකි.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment