web analytics
You are here
comman සංවාද 

පරිසරය නසන පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් වැළකීමේ පියවර ඔබෙන් අරඹන්න.

මානව පැවැත්ම හා පරිසරය එකිනෙක වෙන් කළ නොහැකි සාධක දෙකකි. ඒ පරිසරයෙන් තොරව මානව පැවැත්මක් හෝ මානව පැවැත්මෙන් තොරව පරිසරක් පිළිබද සාකච්ඡා කළ නොහැකි බැවිනි. නමුත් අද අපට මානව පැවැත්ම පිළිබද නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ පරිසරයෙන් තොරව මිනිස් පැවැත්ම පිළිබද පමණක් සිතා සිදු කළ ක්‍රියාකාරකම් හේතුවෙනි. මානව ක්‍රියාකාරකම් ඉදිරියේ ස්වාභාවික සම්පත් විනාශ වී යාම නිසා ජීවි අජීවි සියල්ල සමතුලිත කළ සොබා දහමේ පැවැත්ම ද විෂම වෙමින් පවතියි. මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා සමග සිදුකළ සංවාදයේ සටහනකි.

සොබා දහමේ පැවැත්මට එක් අභියෝගයක් වී ඇත්තේ මිනිසා විසින් පරිසරයට ඒකරාශී කරනු ලබන නොයෙක් අපද්‍රව්‍යයන් ය. එහිදී මිනිසාගේ ජීවන පැවැත්ම සදහා නිපදවා ගෙන ඇති නොයෙක් ද්‍රව්‍ය පරිභෝජනයෙන් පසු බැහැර කිරීමේ විධිමත්භාවයක් නොවීම පරිසර හානිය වර්ධනය කිරීමට හේතු වී ඇත. එහිදී සමාජයෙන් මිනිසුන් පරිහරණය කර ඉවතලන ද්‍රව්‍ය අතුරින් පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය කිහිපයකි. ඒවා අතුරින් පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, ගොඩනැගිලි ද්‍රව්‍ය, විද්‍යුත් අපද්‍රව්‍ය පෙන්වා දිය හැකිය.

මේ අතුරින් පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය ලාංකේය සමාජයේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගනියි. එහිදී ආහාර එතීමට, ආහාර සහ නොයෙකුත් දෑ ගෙන යාම සදහා පොලිතින් කවර හා උර භාවිත කෙරෙනවා. එසේම නොයෙක් පහසු පරිහරණ මාධ්‍යයක් හා මිල අඩු නිෂ්පාදන වශයෙන් ප්ලාස්ටික් යොදා ගනිමින් නිපද වූ ද්‍රව්‍ය සුලබව භාවිත කරයි.

මෙහිදී පොලිතින් භාවිතය නිසා ඇති වී ඇති පාරිසරික ගැටලුවේ ස්වභාවය වන්නේ දැනට අප වැඩි වශයෙන් භාවිත කරන පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග බොහොමයක් ස්වභාවිකව දිරාපත් වීමට ලක් නොවීමයි. මෙම පොලිතින් ප්ලාස්ටින් වැනි දිරාපත් නොවන දේ අපද්‍රව්‍ය ලෙස බැහැර කළ පසු ඒවා  ස්වාභාවිකව දිරාපත් වීමට අවශ්‍ය තත්වයට පත්වීමට අවුරුදු 400 ක් පමණ ගත වෙනවා. මෙහි අවාසනාවන්ත පැතිකඩ වන්නේ මෙසේ දිරාපත් නොවන පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය කසල වශයෙන් දිනපතා පරිසරයට මුදා හැරීම සිදුවෙන බැවිනි.

වර්තමානය වන විට දිරාපත් නොවන පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය වර්ධනය වීම හා ඒවා අපද්‍රව්‍ය වශයෙන් විධිමත් ක්‍රමවේදයකට අනුව බැහැර නොකිරීම හේතුවෙන් ‘කසළ’ කළමනාකරණය මහත් ගැටලු වී තිබේ. මෙහිදී මෙම අපද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව බැහැර කිරීම නිසා ලාංකේය සමාජයේ සියලු මිනිසුන්ට කුණු ප්‍රශ්නය නොවිසදීමට නොහැකි ගැටලු අතර එකතු වී තිබේ. පොලිතින් ප්ලාස්ටික් වැනි පාරිසරික හානි කර ද්‍රව්‍ය භාවිතය අවම නොකිරීම හා ඒවා භාවිතයෙන් පසුව විධිමත් පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කරමින් පරිසරය වෙත බැහැර නොකිරීම නිසා ගොඩගැසුණු කසල කදු ලාංකේය සමාජයේ සුලබ දැකිය හැකිය. මේ නිසා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නුදුරේ දී සමස්ත රටට ම පාරිසරික ගැටලු මෙන් ම සෞඛ්‍ය ගැටලු රාශියකට ම හේතු විය හැකි පෙන්වාදිය හැකියි.

මෙහිදී පොලිතින් භාවිතයෙන් ඇතිවිය හැකි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු බොහොමයකි. පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කර ඇත්තේ වයිනයිල් ක්ලෝරයිඩ්, ඩයොක්සින්, බෙන්සීන්, බිස්ෆීනොල් A, ෆෝමැල්ඩිහයිඩ් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍යවල එකතුවෙන්. මේවායින් බොහෝමයක් නොනැසී පවතින කාබනික දුෂණ කාරක (Persistent Organic pollutants- Pops) ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව බිස්ෆීනොල් A වැනි රසායන ද්‍රව්‍ය දැනට ඇමෙරිකානු පරිසර ආරක්ෂණ කාර්යාංශය මගින් පිළිකාකාරක, ස්නායු නාශක සහ හෝමෝන නාශක රසායන ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත. එබැවින් මෙම රසායන ද්‍රව්‍ය යම් කාලයක් නාසය, මුඛය සහ චර්මය හරහා නිරාවරණය වූ විට විවිධ සෞඛ්‍ය වලට මුහුණ දීමට සිදු වෙයි. මේ අතර පිළිකා, හෝමෝන අක්‍රමිකතා, වඳභාවය සහ ස්නායු දුර්වලතා ඇති වීමේ අවදානම ද පවතියි.

එසේම පොලිතින් දහනයට ලක් වූ විට වායු දුෂණය සිදු වීම වන අතරම මෙමගින් කාබන් මොනොක්සයිඩ් වැනි ඉතාමත් විෂ සහිත වායු නිදහස් වීමෙන් ශ්වසන ආබාධ ඇති වීම වැළැක්විය නොහැකියි. ස්වාභාවික ලෙස දීර්ඝ කාලයක් තිස්සේ හිරු එළිය මගින් පොලිතින් සහ ප්ලාස්ටික් වියෝජනයට ලක්වුවත් එමගින් ප්ලාස්ටික් ධූලි වායුගෝලයට එකතු වීම මගින්ද ශ්වසන ආබාධ ඇති විය හැකියි.

එසේම දිරාපත් නොවන කසල එක්රැස් වීම සිදු විම හේතුවෙන් පස දුෂණයට ලක් වීම සහ පස නිසරු වීම සිදුවේ. ප්ලාස්ටික් සහ පොලිතින් පසට එකතු වූ පසු එමගින් විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කෙරෙනවා. මෙම විෂ රසායනික ද්‍රව්‍ය අපගේ භුගත ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් අප පානයට ගන්නා ජලය විෂ සහිත වීමෙන් විවිධ ආමාශගත රෝග, වකුගඩු රෝග වැනි නොයෙකුත් රෝග ඇති වීමට බලපාන සාධකයකි.

තවදුරටත් පොලිතින් හා ප්ලාස්ටික් වර්ග දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කරන ක්ෂුද්‍ර ජීවින් පසෙහි ජීවත් වන නමුත් ප්ලාස්ටික් දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී උත්පාදනය කරන මීතේන් වායුව මගින් ගෝලීය උණුසුම් වීමේ ශීඝ්‍රතාව ද ඉහළ දැමීමට වක්‍රාකාරව බලපා තිබේ. එසේම අප බැහැර කරන බොහොමයක් ප්ලාස්ටික් සහ පොලිතින් පහසුවෙන් ජල මූලාශ්‍රවල තැන්පත් වේ. ඒවා මගින් බිස්ෆීනොල් A, පොලිස්ටිරින් වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජල මූලාශ්‍ර දූෂණය වීම සිදුවේ. මෙම ජලමූලාශ්‍ර මගින් අපට අවශ්‍ය ආහාර හා පානීය අවශ්‍යතා සදහා ජලය ලබා ගැනෙනවා. එහිදී මෙම විෂ රසායනික ද්‍රව්‍ය පානීය ජලය මෙන් ම ආහාර මගින් නැවත අපගේ ශරීරයට ඇතුළු වීමේ අවදානම තිබෙනවා. එපමණක් නොව මෙම විෂ රසායනික ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් එමගින් ජලජ ජීවින්ට සිදුවන්නේ විශාල හානි සිදු වේ. දිරාපත් නොවන පොලිතින් කසල එක්රැස් වීමෙන් විවිධ සතුන් ඉවතලන පොලිතින් ආහාරයට ගැනීම හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පැමිණෙනවා.

මේ නිසා පාරිසරික පැවැත්මේ ස්ථිරභාවය තහවුරු කිරීම උදෙසා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම කිරීමටත් ඒවා අපද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීමෙන් වැළකීමේ වගකීම අප සතු වේ. එය අපට පමණක් නොව මතු පරම්පරා ගණනාවක් ජීව අජීවි පැවැත්ම තහවුරු කිරීම හේතු සාධකයකි.

ඒ වෙනුවෙන් දෛනික අවශ්‍යතා සදහා ද්‍රව්‍ය මිලදී ගැනීමේ දීපොලිතින් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය මිල දී ගැනීම්වලින් හැකිතාක් වැළකීමේ පුරුද්ද ඇති කරගැනීම වැදගත් වේ. එමෙන් ම ආහාර ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පොලිතින් හැර වෙනත් පරිසර හිතකාමී ආදේශක භාවිතය පිළිබද මෙහිදී අවධානය යොමු කළ යුතුයි. ඒ සදහා පරිසර හිතකාමී පුරුදු අනුගමනය කිරීම වැදගත් වේ.

පොලිතින් ප්ලාස්ටික් වෙනුව‍ට ආහාර ඇසුරුම් කිරීම සදහා කඩදාසි භාවිතය යොමු විය හැකියි. කඩදාසි භාවිත කළ නොහැකි නම් ආහාර රැගෙන යාමේදී ඒ සදහා කෑම පෙට්ටියක් භාවිත කිරීමේ පුරුද්ද පුරුදු පුහුණු කළ හැකියි. එහිදී උදෑසන සහ දිවා ආහාරය නිවසින් සකසා ගෙන එන්නේනම් ඒ සඳහා කෑම පෙට්ටියක් භාවිත කිරීම පිළිබද අවධානය යොමු කිරීම වැදගත් වේ. නමුත් මෙම කෑම පෙට්ටිය නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වලින් නිමවා තිබීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා වෙළඳ පොලේ නියම ප්‍රමිතීන් අනුව සාදා නිම කර ඇති ප්ලාස්ටික් පෙට්ටි පමණක් භාවිත කිරීම වඩා යෝග්‍ය යි.  දිවා ආහාරය ඇසුරුම් කිරීමට පොලිතින් කවර භාවිත කිරීම අත්‍යවශය වේ නම් ඒ සඳහා අලුතින් නිෂ්පාදනය කර ඇති ඉක්මණින් දිරාපත් වන පොලිතින් පමණක් භාවිත කිරීමට යොමු වීම හෝ වැඩි ඝනකමකින් නිෂ්පාදනය කර ඇති නැවත භාවිත කළ හැකි පොලිතින් පමණක් භාවිත කිරීම වැදගත් වේ.

නිවසේ සිට ඔබේ කාර්යාලයට ඔබ ආහාරය රැගෙන යන්නේ නම් ඒ සඳහා පොලිතින් කවර භාවිත නොකිරීමත් ඒ සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කිරීම කළ හැකියි. මේ සඳහා ඔබට දිගු කලක් භාවිත කළ හැකි රෙදි බෑගයක් යොදා හැකියි. මීට අමතරව ඔබට ඉවතලන කඩදාසි මගින් නිමවූ ඝනකම කවර  භාවිත කළ හැකියි. රෙදි බෑග්, ගෝනි බෑග් වැනි නිර්මානාණත්මක නිමැවුම් භාවිත කළ හැකියි. ඒවා මගින් පරිසරයට ආරක්ෂාවක් ලබා දෙනවා මෙන්ම ඔබ අනෙක් සියලු දෙනාට ආදර්ශයකි.

 

ඔබ භාවිතයට ගන්නා වතුර බෝතලය බොහෝ කාලයක් නැවත නැවත භාවිතයට ගත හැකි වීදුරු වලින් නිමවා ඇත්නම් වඩාත් යෝග්‍ය වේ. නැතිනම් මේ සඳහා ප්‍රතිචක්‍රීකරණය කල හැකි ප්ලාස්ටික් වලින් නිමවා ඇති නැවත භාවිතයට ගත හැකි ආරක්‍ෂිත වතුර බෝතල් පමණක් භාවිත කළ හැකියි. මේ අයුරින් යම් ආකාරයකින් ඔබ පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සකස් කළ ද්‍රව්‍ය පරිහරණය කළේ නම් ඒවා පරිසරයට අවිධිමත් අයුතින් බැහැර නොකළ යුතුයි.

එසේම ඔබේ නිවසේ, කාර්යයාලයේ පවවත්වන උත්සව අවස්ථා සදහා පොලිතින් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කළ යුතුය. එමගින් පරිසරට ඒකරාශී වන කසල අවම කළ හැකියි. එපමණක් නොව ඔබ විසින් ඉවතලන කසල වෙන් කර බැහැර කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම ද වැදගත් වේ. මෙසේ කසල වෙන් වෙන් වශයෙන් බැහැර කිරීමෙන් මානවයා විසින් සිදුකරන පාරිසරික හානියේ ශීඝ්‍රතාව වළක්වා ගනිමින් පවිත්‍රතාකටයුතු කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව උදා වේ. එසේම නව ඉදිකිරීම් වල දී දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතය වළක්වමින් පරිසර හිතකාමී අයුරින් ක්‍රියාකිරීමට සැලසුම් සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි.

දිරාපත් නොවන අපද්‍රව්‍ය මගින් සිදුකරන පාරිසරික හානියේ වගකීම වෙනත් පාර්ශව වෙත යොමු කිරීම වෙනුවට ඔබේ විසින් ඉවතලන අපද්‍රව්‍යවලට වග වීම ඔබ සතු යුතුකමකි. පරිසරයේ පවත්නා සමතුලිතභාවය ආරක්ෂා කරගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මූලික පියවර ගැනීම ඉතා අපහසු කාර්යයක් වන්නේ, කාර්යයබහුල ජීවන රටාවක හුරුවීම නිසා සියල්ල පහසුවෙන් සිදු කිරීමයි. නමුත් අපේ පහසුව සදහා භාවිත කරන දිරාපත් නොවන ද්‍රව්‍ය මගින් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මුලාරම්භය විය හැකියි. එයින් ලොව ගලවා ගැනීමට පළමුව කළ යුත්තේ අප එක් එක් අයෙකු වශයෙන් නිවැරදි පරිසර හිතකාරමී චර්යා ලෙස අනුගමනය කිරීමයි. එය අදම ඔබෙන් අරඹන්න. ඔබ යන එන හැම තැන පොලිතින් ප්ලාස්ටික්වලින් වැනි අපද්‍රව්‍ය ඒකරාශී වීම වැළැක්වීමට හැකිතාක් උත්සහ කරන්න සිතට ගන්න. පොලිතින් ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී ආදේශක භාවිත කිරීම ඇතැම් විටෙක අපහසු වුවත් අද ඔබ ගන්නා අපහසු වෑයම මතු දවසක පරිසාරික හානිය වළක්වා ගැනීමට තබන යෝධ පියවරක් වනු ඇත.

 

 

සටහන

අමාලි උත්පලා නන්දසිරි

 

Related posts

Leave a Comment