web analytics
You are here
comman කතුවැකිය 

ඉගෙන ගන්න, වැඩ කරන්න. වැඩ කරන්න, ඉගෙන ගන්න.

කැලණිය විශ්වවිද්‍යාලය මේ දිනවල උත්සවශ්‍රීයෙන් නෙක විසිතුරු පාන්නී ය. බැලූ බැලූ හැම තැන විවිධ  ශිෂ්‍යයින්ගේ බාහිර  ක්‍රියාකාරකම් පිළිබඳ කියැවෙන පෝසටර් ය. කටවුට් ය. සවනත වැකෙන්නේ ද විද්‍යාර්ථීන් සංවිධානය කරන එවැනි වැඩසටහන් ගැන ය.

කලු සුදු ඇදුමින් සැරසුණු විද්‍යාර්ථීන් Proposal අතැතිව නගරයෙන් නගරය, කඩදොරින් කඩදොර ඇවිද යන්නේ තමන් සංවිධානය කරන උත්සවයට  Sponsorship එකක් ලබාගැනීමේ අටියෙනි.

තෙල් බැම්මේ ටිකට් පතේ සිට මඤ්ඤොක්කා ගොටුව දක්වා වූ අනේකවිද දෑ විකුණන හැම විද්‍යාර්ථියෙකු තම වැඩසටහන වෙනුවෙන් අරමුදල් තර කර ගැනීමට වෑයම් කරමින් සිටියි.

විශ්වවිද්‍යාලයේ  සංවිධානය වන හැම බාහිර වැඩසටහනකට ම මුඛ්‍ය පරමාර්ථය වන්නේ විද්‍යාර්ථීන්ගේ විෂය සමගාමි කුසලතා දියුණු කිරීමයි. ඒ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීමයි. එබැවින් මේ සෑම ශිෂ්‍ය ක්‍රියාකාරකමක් ම අවසාන වශයෙන් ගුණාත්මක, ඵලදායක හා ප්‍රායෝගික ශිෂ්‍යයෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් සහය විය යුතු ය.

එහෙක් දේශනශාලාවේ තත්ත්වය කුමක්දැයි වටහා ගැනීමට ආයාසයෙන් හෝ උත්සාහ ගනිමු. පිරිසක් Sponsorship සෙවීමට නගරයෙන් නගරයට කඩ දොරෙන් කඩදොර සැරිසරති. තවකෙක් ටිකට්, බුක්මාර්ක්, අච්චාරු, මඤ්ඤොක්කා ආදිය විකුණති. ඇතැමුන් දැන්වීම්, පෝසටර් ඇලවීමට ගොසින් ය. තවකෙක් උත්සව සංවිධාන කටයුතුවල නියැලෙමින් සිටිති. තවත් පිරිසක් වැඩසටහන සදහා නර්තන, ගායනා පුහුණු වෙති. තවත් පිරිසක් මේ දිනවල හරිහැටි වැඩක් වෙන්නේ නැතැයි කියා නිවෙස් කරා ගොසිනි. මේ සියල්ලෙන් අතහැරුණු පිරිස දේශන ශාලාවේ හිඳ කුමකින් කුමක් සිදු වන්නේ දැයි නෙත්, මුව අයා බලා හිදිති.

විද්‍යාර්ථීන් සහභාගී වන ඉහත මේ සියලු ක්‍රියාකාරකම් ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් වශයෙන් ඇගයීමට හැකිය. නමුත් මීට සාපේක්ෂව ඔවුන් පංති කාමරය තුළ ලැබිය යුතු දැනුම ශික්ෂණය, සදාචාරය, වර්ධනය කරගත යුතුය. අවසානයේ පැවැත්වෙන විභාගයට නිසි පරිදි මුහුණ දී ඉහළ ලකුණක් ගෙන පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත් විය යුතු ය. යථාර්ථය වන්නේ එය යි.

අප මින් අදහස් කරන්නේ ‘සියලු බාහිර ක්‍රියාකාරකම්වලින් විද්‍යාර්ථීන් මිදිය යුතු ය’ යි යන්න නොවේ. ඔවුන් අඩු තරමින් බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන වේගයට සමාන වේගයකින් හෝ අධ්‍යයන කටයුතුවල ද නියැලිය යුතු ය. බාහිර වැඩවල නියැලීමෙන් පමණක් අධ්‍යාපන විමුක්තිය ලැබිය නොහැකි ය. අධ්‍යයන කටයුතුවල නියැලීමෙන් පමණක් ද විමුක්තිය ලැබිය නොහැකි ය. රටට අවශ්‍ය වන්නේ මේ දෙකම සමබර කරගත් දැනුමැති අයෙකි. එසේ නම් දේශන ශාලාවේ ද හිඳිමින් විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නියැලීමට අප ඉගෙන ගනිමු.

 

-සංස්කාරක-

Related posts

Leave a Comment