web analytics
You are here
comman කතුවැකිය 

විශ්වවිද්‍යාලයක පරමාර්ථ

‘‘අනගාරික ධර්මපාලතුමන් පැවසූ පරිදි රටක අධ්‍යාපනය නිදහස් විය යුතු ය. කාර්මික හා තාක්‍ෂණික මූලධර්ම මත අධ්‍යාපනය සකස් විය යුතු ය. රටට අවශ්‍ය නායකයින් බිහි කරගැනීමට එම අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ හැකිවිය යුතු ය.’’

ධර්මපාලතුමාගේ මෙම දර්ශනය පදනම් කරගෙන සී.ඩබ්.ඩබ්. කන්නගර මැතිඳුන් මෙරට නිදහස් අධ්‍යාපන සංකල්පය ක‍්‍රියාවට නැංවීය. කන්නන්ගර මැතිතුමාගේ ද දර්ශනය වූයේ, නිදහස් අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපන නිදහස ආරක්‍ෂා කරගැනීම අප සැමගේ යුතුකමකි. වගකීමකි.

විශ්වවිද්‍යාලයක පරමාර්ථ පිළිබඳ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී කර්තෘ වැලිවිටියේ ශ‍්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ පෙන්වාදුන්නේ මෙසේ ය.

‘‘විශ්වවිද්‍යාලයක් මහා සමුද්‍රයකට සමාන කළ හැකිය. එයට නොයෙක් දිගින් ගංගාවෝ ගලා බසිත්. ඒවා සමුද්‍රයට වන් විට වෙන් වෙන්ව තිබුණු නම් අතුරුදන් වී එකම සමුද්‍ර නාමයෙන් හඳුන්වනු ලැබෙත්. එසේම නොයෙක් අධ්‍යාපන ආයතනවල නොයෙක් ආචාර්යවරුන්ගෙන් උගත් හා නා නා විධ අදහස්වලින් යුත් නා නා විධ පරිසරයන්හි වැඩුණු ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළුව එකම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතු ය. සමුද්‍රය ගැඹුරු ය. එසේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතු ය. සමුද්‍රයෙහි ඇත්තේ එකම රසයකි. එනම් ලූණු රසය යි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ පරමාර්ථය ද එකක් විය යුතු ය. එනම් රටට යෝග්‍ය රටට ගැලපෙන රටට ප‍්‍රයෝජනවත් පුරවැසියන් වීමයි. සමුද්‍රය හැම කුණු කසළක් ම ගොඩට ගසයි. නොපිළිගෙන ඈත් කරයි. ඉවතලයි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ද නිතර ම සත්‍යයම පිළිගත යුතු ය. අසත්‍යය, වැරදි දෙය ඈත් කළ යුතු ය. සමුද්‍රය කිසි කලක වෙරළ නොඉක්මවයි. එසේම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ද ස්වකීය විශ්වවිද්‍යාලයීය සම්ප‍්‍රදායට එයට ඇති ලැදියාව අත්නොහළ යුතු ය.

මෙම විශ්වවිද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේම පිළිගන්නා විවේචනයට අකමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ඇති අගුණ වසාගෙන නැති ගුණ රුවා පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩබෑ හැටියේ විදේශීය භාණ්ඩ වැනි මෙරටට අමුතු වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘත‍්‍රිම රූකඩයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් පසු වන තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විනෝද විය යුතු ය. විවේචනශීලී විය යුතු ය. ගවේෂී විය යුතු ය. එහෙත් ඒ හැම තැනම සත්‍යගරුක විය යුතු ය. යුක්ති ගරුක විය යුතු ය. බුද්ධිමත් විය යුතු ය. සභ්‍ය විය යුතු ය. සීමාන්තික නොවිය යුතු ය.

(1963 කඩහිංගල සෝරත හිමි රචිත ‘ධර්මශාසර්ත‍්‍රාන්නති’ කෘයෙන් උපුටා ගෙන 2009.02.18 දින දිවයින පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරිනි.)

 

Related posts

Leave a Comment