web analytics
You are here
comman සංවාද 

“සංජනනී 2016”

සන්නිවේදනය යන්න මුළුමහත් මානව ප්‍රජවටම අත්‍යවශ්‍ය සාධකයක් බැවින් සන්නිවේදන විෂය අතිශය පුළුල් නව භාවිතයන්යෙන් පූර්ණ කිරීමත්, ඒ පිළිබඳව දැනුවත් කිරීමත් ප්‍රධන අරමුණ කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශය සහ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන  “සංජනනී 2016 මාධ්‍ය උළෙල මෙවරත් දෙසැම්බර් 6,7,8,9 දින පුරා පැවැත්වීමට නියමිතය.ඒ පිළිබඳවත් සංජනනී මාධ්‍ය උළෙලේ ඉතිහාසය පිළිබඳවත් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්නයන් සමඟ කළ සංවාදය මෙසේ සටහන් කරමු.

 

සංජනනී මාධ්‍ය උළෙල ආරම්භ වුණේ කොහොමද?

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ශිෂ්‍යයන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම සහ විශ්ව විද්‍යාල තුල නිර්මාණාත්මක,සෞන්දර්යාත්මක සංස්කෘතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන 2001 වසරේ ප්‍රථම සංජනනී මාධ්‍ය උළෙල පැවැත්වූවා. විශේෂයෙන්ම එවකට  ජනසන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඒ සඳහා උපදේශකත්වය සැපයූ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි රමණි අශෝකා කුලසේකර යන අධ්‍යන අංශයේ ප්‍රමුඛ  ආචාර්ය භවතුන් මේ සඳහා  අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම සිදු කළා.

සංජනනී යන වචනයේ අර්ථය මනාවූ දෑ උපදවන්නේ යන අර්ථයයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යනයේ මහගෙදර කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශය  නිර්මාණාත්මක හා ප්‍රශස්ත මෙන්ම බුද්ධිමත් සමාජයක් රටට දායාද කිරීම යන අර්ථයෙන් සංජනනී යන වචනය යොදාගත් බවද කිව යුතුමයි.

සංජනනී මාධ්‍ය උළෙලේ ප්‍රධාන අරමුණ ලෙස  විශ්ව විද්‍යාල පද්ධතිය තුල නිර්මාණශීලී පරපුරක් බිහි කිරීම සහ විද්‍යාර්ථියන් තුල පවතින සහජ කුසලතා ඔප් නැංවීම විශේෂයෙන් “ඉගැන්වීම හා ඉගෙනගැනීම” යන සංකල්පය වර්ධනය කිරීම පමණක් නොව   විශ්ව විද්‍යාලය තුළ අන්තර් පීඨ වශයෙන් සම්බන්ධතා තහවුරු කිරීම තවත් ප්‍රධාන අරමුණක්.ඒ වගේම සන්නිවේදන විෂය හා සම්බන්ධවන  ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල මේ සඳහා දායක කර ගැනීම තවත් වැදගත් අරමුණක්වෙනවා.

 

මෙම මාධ්‍ය උළෙල සමාජයට වැදගත් වන්නේ කෙසේද?

සංජනනී අන්තර්ගතය පිළිබඳව විමසීමේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් වු සමාජයක්, මනසක් බිහිකිරීම සිදුවන බව පෙන්වා දිය හැකිය.

සංජනනී මාධ්‍ය උළෙල සමාජයට කරන බලපෑම කෙරෙහිද අපේ අවධානය යොමුකළ යුතුයි.විශේෂයෙන් උසස් රුචිකත්වයක් සහිත ප්‍රබුද්ධ සමාජයක් විශ්ව විද්‍යාලය තුල බිහිකිරීම ඔස්සේ විශ්ව විද්‍යාලය තුළ පවතින සමාජ ස්ථරයන් මෙන්ම රටේ සමාජ ස්ථරයන් ප්‍රබුද්ධ පදනමක් යටතේ වර්ධනය වීම මෙහිදී අපිට දැකගත හැකියි.

එදා සිට වර්තමානය දක්වා සංජනනී මාධ්‍ය උළෙල ආ ගමන්මග පිළිබඳව විමර්ශනය කිරීමේදී, විශ්ව විද්‍යාලය තුළ අපූර්ව වු සංස්කෘතියක් මෙන්ම රටෙහිද නිර්මාණාත්මක චින්තනයන් සහිත පරපුරක් බිහිකිරීම වැදගත් කරුණක් ලෙස හඳුන්වා දිය හැකිය. එදා මෙදා තුර බිහිවු නිර්මාණ ශිල්පීන් නාට්‍යකරුවන් ලේඛකයන් රැසක් මේ ඔස්සේ හඳුනාගැනීමට ද හැකියාව ලැබීම විශේෂත්වයක්.

 

මෙවර සංජනනී මාධ්‍ය උළෙලේ විශේෂත්වය මොකක්ද?

මෙවර සංජනනී මාධ්‍ය උළෙලේ තේමාව  ර්‍ණ ජාතික සංහිදියාව උදෙසා සන්නිවේදන සංස්කෘතියක් ” යන්නයි. විශේෂයෙන් කාලීන වශයෙන් ඉතා වැදගත් තේමාවක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.එයට හේතුව ශ්‍රී ලාංකික මානව සමාජය තුළ වරින්වර මතුවන විවිධ සමාජීය හා වාර්ගික ගැටලු නිරාකරණය කර ගැනීමට මේ ඔස්සේ පදනම නිර්මාණය වීමයි.මේ කරුණ සත්‍යක් බවට පත්කර ගැනීම දේශීය මාධ්‍ය ව්‍යුහයේ කාර්ය්‍යභාරයයි.

විශ්ව විද්‍යාලයේ අටසහසකට (8000) ආසන්න ශිෂ්‍ය ප්‍රජාව සහ පාසල් සිසුන් (500) ඉලක්ක කර ගනිමින් මෙම මාධ්‍ය උළෙල පවත්වනු ලබන අතර මෙහිදී සමාරම්භක උළෙල, ප්‍රදර්ශන ගම්මානය, කෙටි චිත්‍රපට උළෙල, පාසල් වැඩමුළුව, හරසර සම්මාන උළෙල, පොත් එළිදැක්වීම, රස  සැඳෑව ,අපේ හැන්දෑව ,වෙබ් රේඩියෝව, අන්තර් විශ්ව විද්‍යාලීය විවාද තරඟය වැනි අංග රැසක් පැවැත්වේ.එමෙන්ම ප්‍රදර්ශන ගම්මානය එම දිනයන්හිදී සියලුම ජනතාවට විවෘතයි.

 

නිර්මාණී කොළඹගේ

Related posts

Leave a Comment