web analytics
You are here
comman සංවාද 

‘‘වර්තමානය වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නිර්මාණකරණයේ යෙදීමට නොවේ විභාග සමත් වීමටයි වැඩි උනන්දුවක් දක්වන්නේ.’’ මහාචාර්ය ජිනදාස දනන්සූරිය

සිංහල සාහිත්‍යය ක්ෂේත‍්‍රය සඳහා ‘ජනශ‍්‍රැති අධ්‍යයන, සම්ප‍්‍රදාය හා සංස්කෘතික හර, කවිකාරමඩුව සහ කාව්‍යක්කාරයෝ සහ කෙටිකථාකරණය’ ආදී ග‍්‍රන්ථ ඇතුළුව තවත් කෘති රැසක් ද ‘හිරකරුවා බැහැ දැක්කෙමු’ ,‘ඉතාලි ජනකතා’ යනාදි කෘති ඇතුළුව පරිවර්තන කෘති රැසක් ද දායාද කරමින් අපරිමිත සේවාවක් සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා සමඟ කළ සංවාදයක් මෙසේ සටහන් කරමු.

  • නිර්මාණකරුවා කියන්නේ කවුද?

නිර්මාණකරුවාට නිර්මාණකරණයේ යෙදීමට විශේෂ හැකියාවක් තිබිය යුතුයි. ඔහු හෝ ඇය සංවේදී පුද්ගල චරිතයක් විය යුතුයි. එහෙම නැති අයට නිර්මාණකරණයේ යෙදෙන්න බෑ. නවකතා කලාව නාට්‍ය කලාව කෙටිකතා කලාව ඉතාමත් යහපත් අන්දමින් හදාරලා තියෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා ඒ දැනුම මත නිර්මාණ බිහි කරන්න බෑ. නිර්මාණකරණයේ යෙදෙන්න විශේෂ ශක්තියක් තිබිය යුතුයි. නිර්මාණකරණය කියන දේ උගන්වන්න බෑ. නිර්මාණ බිහි කරන්න අවශ්‍ය ප‍්‍රධාන ම සාධකය අත්දැකීම්. නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට අත්දැකීම් සියුම් ලෙස වින්දනය කිරීමේ ශක්තිය සහ පරිකල්පනයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීමේ ශක්තිය තිබීම අවශ්‍යයයි. අත්දැකීමක් පදම් කරගත්තම එය නව නිර්මාණයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියනවා.

  • වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයෙන් සාහිත්‍යය ක්ෂේත‍්‍රයට අදාළ දක්ෂ නිර්මාණකරුවන් බිහිවෙනවාද?

විශ්වවිද්‍යාලයේ පමණක් නොවෙයි රටේ සියලූ ම දේවල් වල ප‍්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියනවා. කලින් තිබුණු ප‍්‍රමිති දැන් බිඳ වැටිලා. 1960, 1970 වසර සමග විශ්වවිද්‍යාල අධ්‍යාපනය සන්සන්දනය කරන විට වර්තමානයේ විශාල වෙනසක් සිදුවෙලා තියනවා. නිර්මාණ සාහිත්‍යය කියන දේ විශ්වවිද්‍යාලවල සුපිෂ්පිත වීම සඳහා ඒ කාලය වන විට හොඳ පසුබිමක් තිබුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිටි කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් එක් කරගනිමින් නාට්‍ය නිර්මාණ කළා. ඒ ශිෂ්‍යයන් බහුශ‍්‍රැතභාවයෙන් හිටපු පිරිසක්. ඒ අය විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීමට පෙර ඉඳලම පොත් පත් ඇසුරු කරපු අය. දැන් ඒ තත්වයන් වෙනස් වෙලා. නිර්මාණ සම්බන්ධයෙන් ගත්තම විශ්වවිද්‍යාලය විශේෂ කරලා කතා කරන්න බෑ. මොකද  ලෝකයේ නිර්මාණකරුවෝ ඉන්නේ ගණන් කරන්න පුළුවන් තරමේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක්. මේ තාක් බිහිවුණු හොඳ ම නිර්මාණ ගණන් කරන්න පුළුවන්. එතකොට මේ නිර්මාණ සම්බන්ධ කතාව විශ්වවිද්‍යාලය සමග විශේෂයෙන් සම්බන්ධ කරලා කතා කීරීමේ හැකියාවක් නෑ. කේ.ජයතිලක, මඩවල එස් රත්නායක කියන අය ගත්තම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය නොවෙයි. විශ්වවිද්‍යාලය විද්වතුන් බිහි කරන ආයතනයක් කියලා හිතනවා නම් ඒ ගැන වෙනම ම සාකච්ඡුා කළ යුතු වෙනවා. මොකද ශාස්ත‍්‍රය සහ නිර්මාණය කියන්නේ දෙකක්. ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ හැමෝටම බෑ නිර්මාණ බිහි කරන්න. වර්තමානය වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නිර්මාණකරණයේ යෙදීමට නොවේ විභාග සමත් වීමටයි වැඩි උනන්දුවක් දක්වන්නේ. ශාස්ත‍්‍රීය දැනුම ලබා ගැනීමේ උවමනාවෙන් සිටින විද්‍යාර්ථින් ස්වල්පයයි විශ්වවිද්‍යාලවල සිටින්නේ. මේ කාරණාව පිරිපුන් දැනුමක් ඇති උපාධිධාරීන් බිහි වීමට බලපාන කාරණාවක් වෙලා තියනවා.

  • භාෂාවක් නිවැරදිව හැසිරවීමට ඔබතුමා ලබා දෙන උපදේශ මොනවාද?

භාෂා මාධ්‍ය කියන දේ හොඳින් හැදෑරීම ඉතා වැදගත්. අඩුම තරමේ එක් භාෂාවක් හෝ හොඳින් ලිවීමට සහ කියවීමට ඇති හැකියාව ප‍්‍රගුණ කළ යුතුයි. බොහෝ අයට නිවැරදිව වාක්‍යක් ලියාගන්න බෑ. උපාධිධාරින්ට, පශ්චාත් උපාධිධාරින්ට පවා වාක්‍යක් ව්‍යාකරණ දෝෂ රහිතව හෝ නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුතුව ලියාගන්න බෑ. නිරවුල් චින්තනයක් නොමැතිකම තමයි මෙවැනි ගැටළු ඇති වීමට හේතුව. නිරවුල්ව හුදෙක් හිතන්න බැරි වන විට නිරවුල්ව ලියන්නත් බෑ. ඒ නිසා කළ යුත්තේ නිරවුල් චින්තනයක් හදා ගෙන ප‍්‍රබල, ශක්තිමත්, සජීවි සහජීව ගුණයෙන් පිරුණු භාෂාවක් භාවිත කිරීමට හුරුවීමයි. ප‍්‍රබල භාෂා මාධ්‍යක් භාවිත කරද්දී නිවැරදිව එයින් ඵල ප‍්‍රයෝජන ගත හැකියි.

  • ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වීමට බලාපොරෙත්තුවෙන් සිටින්නවුන්ට මොනවද කියන්න තියෙන්නේ

විශේෂයෙන් පුවත්පත් කලාවට සම්බන්ධයෙන් අවධානය යොමු කරනවනම් නිවැරදිව භාෂාව හැසිරවීම ඉතාම වැදගත් කාරණයක්. පසුගිය කාලයේ දී ලාංකේය පුවත්පත් කලාවේදීන් බොහොම අපූරුවට ලේඛනයේ යෙදුණා. මාර්ටින් වික‍්‍රමසිංහ, පියසේන නිශ්ශංක, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන පුවත්පත් කලාවේදීන් ව්‍යක්ත විදිහට භාෂාව භාවිත කළා. ඒ ලේඛන අදටත් වලංගුයි සහ අදත් මිනිස්සු ඒවා කියවනවා. ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට යන්න බලාපොරොත්තු වෙන අය භාෂා මාධ්‍ය ගැන සැලකිලිමත්වීම අත්‍යවශ්‍යයි. භාෂා මාධ්‍ය කියලා අදහස් කරේ නිවැරදි ව්‍යාකරණයෙන් ලිවීම ම නෙවෙයි. නිර්මාණාත්මක භාෂාවත් මෙයට ඇතුළත්. ජනසන්නිවේදන ක්ෂේත‍්‍රයේ දී නිර්මාණාත්මක සන්නිවේදනය කියන කොටස හරිම වැදගත්.

  • සාහිත්‍යය නිර්මාණයක භාෂා භාවිතය සම්බන්ධව බොහෝ නූතන නවකතාකරුවන් අදක්ෂතා පෙන්නුම් කරන බවට මතයක් පැන නැගිලා තියනවා. මේ පිළිබද ඔබතුමාගේ අදහස කුමක්ද?

එහෙම මතයක් ඉදිරිපත් වෙලා තියනවා. නමුත් ඒ මතයට සියයට සීයක් එකඟ වෙන්න බෑ. පරිවර්තන නවකතා සම්බන්ධයෙන් ගත් විට මෙය සුලබව දකින්න පුළුවන්. ඇතැම් පරිවර්තන නවකතා කියවන්න ඉතාමත් අමාරුයි. ග‍්‍රන්ථ පරිවර්තන සාහිත්‍යය සම්බන්ධයෙන් ලංකාවේ ප‍්‍රමිතියක් නෑ. වෙනත් භාෂාවක නවකතාවක් පරිවර්තනය කරන විට වචනයෙන් වචනය පරිවර්තනය කිරීම් දකින්න ලැබෙනවා. මෙහිදී ඉස්මතු වෙන්නේ කඨෝර ස්වරූපයක්. කියවීමේ සුඛනම්‍යතාවයත්  නැති වෙලා යනවා. නමුත් සංස්කෘතික දෙපාර්තමේන්තුව තෑගි දීමේ අරමුණින් මේ නවකතා තෝරන විට මේ පිළිබඳ නොසැලකිලිමත්වීම කණාගාටුවට කාරණයක්. හොඳම පරිවර්තන කෘති තෝරන විට ඒවායේ මුල් කෘති පරිශීලනය කරමින් තෝරනවාද කියන්න සහතිකයක් නෑ.

  • ලංකාවේ සාහිත්‍යය සම්මාන ලබාදීමේ ්‍රමවේදය පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද?

සමහර ලේඛකයෝ සම්මාන බලාගෙන ම අවුරුදු පතා පොත් ලියනවා. සම්මාන උළෙලවල් වැඩියි කියලයි මට හිතෙන්නේ. අනිත් කාරණාව තමයි කෘති තේරීමේ යම් ප‍්‍රමිතියක් සහ ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. හොඳ ම කෘති අදාළ අවුරුද්දට ලියවිලා නැත්නම් තියන ඒවායින් තේරීම නෙවෙයි කරන්න  ඕන. සම්මානයට සුදුසු කෘතියක් නෑ කියලා නම් කරන්න හැකියාවක් තියෙන්න  ඕන. එහෙම කරන්න පුළුවන් නම් තමයි ප‍්‍රමිතිය රැකෙන්නේ.

නලිනිකා ලක්ෂාණි

 

 

 

 

Related posts

Leave a Comment