web analytics
You are here
comman කාලීන 

නත්තල් පා වැසුමේ කතාන්දරය

පා වැසුමක් නැතහොත් මේස් යුගලයක් සාමාන්‍යෙයන් පොදු ජන සමාජයක කරළියට ගෙන ඒම සිදු නොකරනු ලබන්නක් නමුත් පා වැසුමකට සුවිශේෂී ස්ථානයක් ලැබෙන අවස්ථාවක් මිනිස් සමාජයේ දක්නට ලැබෙනවා. එකී අවස්ථාව දින දර්ශනයේ අපරභාගයට වන්නට හමුවෙනවා. ඒ සුවිශේෂී අවස්ථාව නම් නත්තල් කාල සීමාවයි. නත්තල් උත්සවයේදී අලුත් පා වැසුමක් නත්තල් සැරසිල්ලක් ලෙස යොදා ගන්නට කිතුනු බැතිමතුන් යොමුව තිබෙනවා. මේ නත්තල්  සැරසිල්ල ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වල කිතුනු ජනයා බහුල වශයෙන් ජනප්‍රිය විලාසිතාවක් ලෙස යොදා නොගත්ත ද බටහිර කිතුනු සමාජයේ මෙකී සැරසිල්ල අති මහත් ජනප්‍රිය වී ඇත. මෙම සැරසිල්ල සදහා යොදා ගනු ලබන්නේ තනි පා වැසුමක් වන අතර එහිදී භාවිත නොකළ අලුත් පා වැසුම නත්තලේ දී ප්‍රමුඛ වර්ණයක් වන රක්ත වර්ණයෙන් තෝරා ගැනීමට කිතුනු බැතිමතුන් යොමුව තිබෙනවා. මෙකී නත්තල් අලංකරණය රඳවා තැබීම සදහා යොදා ගනු ලබන්නේ නිවසක ප්‍රධාන දොරෙහි ඉදිරිපස ප්‍රදේශයයි.

පාරම්පරිකව පැවත ආ සිරිතක් නිසා පා වැසුම සැරසිල්ලක් ලෙස යොද ගනු ලැබුව ද මෙම නත්තල් සැරසිල්ල හා බැදී පවතින අතීත කතාවක් ද, ගැඹුරු යථාර්ථයක් ද දක්නට ලැබේ. නත්තල් මංගල්‍යයේ දී ඉතා සමීප පුද්ගලයෙකු ලෙස කිතුනු බැතිමතුන් ගරු බුහුමන් කරනු ලබන නත්තල් සීයා ලෙස විරුදාවලිය ලැබූ ලීසියා පටුනේ ශුද්ධ වූ නිකුලා මුනිතුමන් කේන්ද්‍ර කොට ගනිමින් ඉහත සිරිත කිතුනු සංස්කෘතිය වටා ගොනු වී තිබෙනවා. ධනවත්, වංශවත් පවුලකට අයත් ශුද්ධ වූ නිකුලා මුනිතුමා තමා සතු සියලු ධනය දිළින්දන් අතර බෙදා දුන් යහපත් පුද්ගලයෙකි. එතුමා විසූ ප්‍රදේශයේ දියණියන් තිදෙනෙකුට සිටි දිළිදු මනුෂ්‍යයෙකු ජීවත් විය. විවාහ වන වයස එළඹෙමින් තිබුණ ද මුදල් නොමැතිකමින් මෙම දියණියන් තිදෙන විවාහ කර දීමට නොහැකිව ඔවුන්ගේ දිළිඳු පියා අසරණව සිටිනා බව ශුද්ධ වූ නිකුලා මුනිතුමන් දුටුවා. මේ නිසාම තම ධනයෙන් විශාල කොටසක් තම අනන්‍යතාවය හෙළි නොවන ලෙස පෙර කී දිළිඳු මනුෂ්‍යයාගේ නිවසේ දොරටුවෙහි පා වැසුමක දමා රඳවා තැබීමට නිකුලා මුනිතුමා විසින් සිදුකෙරිණි. නත්තල් සීයා හා බැදී පවතින ඉහත පුරාණෝක්තිය පදනම් කර ගෙන අදටත් කිතුනු ජනතාව තම නිවසේ ප්‍රධාන දොරෙහි පා වැසුමක් රැඳවීමට පුරුදු ව සිටිති.

වර්තමානයේ මෙම පාවැසම ව්‍යාජ ආටෝපය දෘශ්‍යමාන කරනා භෞතික සැරසිල්ලක් වුවද ඒ වටා ඇති යථාර්ථය හා අධ්‍යාත්මික පණිවිඩය අව්‍යාජ වූවකි.

 

මෙත්සිකා කාරියවසම්

Related posts

Leave a Comment