web analytics
comman කාලීන 

ඔබත් හිතන්නේ මෙහෙමද?

ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. එක් වෙලාවක දිනනවා, තවත් වෙලාවක පරදිනවා. පරදින තැනින් නැගිටලා ආයෙම දිනන්න හිතන් වැඩ කරනකොට ආපසු හැරිල බලද්දි හිතෙන්නේ පටන් ගත්ත තැනම නේද කියලා. ඉතින් එතකොට තමයි හිතෙන්නේ මේ කරන විකාර වැඬේ මොකක්ද කියලා. එහෙම කියල බෑනේ. පටන් ගත්තනම් ඒ වැඬේ ඉවර කරන්නම  ඕනි.

ඔන්න ඔහොම තමයි අපි ජීවිතේ දිනන්න හිතාගෙන වැඩ කරනකොට අපට වෙන්නේ. මේ විදිහට වැඩ කරද්දී සමහරු දිනන්න පුලූවන්ද බැරිද කියලා බලන්නෙත් නැතුව අතෑරලා දානවා. ඒත් සමහරු දිනුවත් පැරදුනත් වැඬේ ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් නෑ. හැබැයි එහෙම කරපු අය තමා අන්තිමේ දිනලා තියෙන්නෙත්. එහෙම දිනපු අය ආව පාරේ තියෙන්නේ මල්, රතු පලස් පාවාඩ නෙමෙයි. කටු අකොල්, ගල් බොරලූ, මහ වලවල් වගේ දේවල්. කටු ඇනගෙන, ගල් වල හැප්පිලා, මහ වලවල් වල වැටිලා තමා ඒ විදිහට දිනුවේ. ඒ නිසාම එයාලට ජීවිතේ දුක කියන එක අමුතු දෙයක් නෙමෙයි. ඒ නිසාම දිනන්න තියෙන ධෛර්යයත් වැඩියි.

ඒත් අද එහෙමද? මන් හිතන්නේ එහෙම නෙමෙයි. අද වන විට සමාජය ආර්ථිකමය අතින්, තාක්ෂණිකමය වශයෙන් මෙන්ම සෑම අංශයකින්ම දියුණුවට පත් වෙලා. මේ වෙනසත් එක්ක නෙමෙයි අපේ අප්පච්චිලා අම්මලා ජීවිතේ දිනුවේ. මන් මුලින් සඳහන් කරපු විදිහට තමා එයාලා ජීවිතේ ගොඩ නගා ගත්තේ. ඒත් එයලා චුට්ටක්වත් කැමති නෑ එයාල විදපු දුක අපට දෙන්න. ඒ නිසාම තමා එයලා එයාලගෙ ගැනවත් හිතන්නේ නැතුව හැම පහසුකමක්ම අපට දෙන්න උත්සාහ කරන්නේ. හොඳම පාසල්, හොඳම ගුරුවරු, හොඳම පොත්පත්, හොඳම ඇඳුම් පැළදුම් විතරක් නෙමෙයි සල්ලි දෙන්නෙත් ඒ ආදරේ එක්කමයි. මෙහෙම කරද්දි කවදාවත් වචනෙකින්වත් අපේ හිත රිදවනවද? නෑ නේද?

ඒත් අපි එහෙමද? අපට දුක පුරුදු නෑ. මොකද අපට දුක් විදින්න අපේ අප්පච්චිලා අම්මලා අපට ඉඩක් තිබ්බේ නෑනේ. ඒ නිසාම ගෙදර බබාලා වගේ හැදුන අපි අපේ අප්පච්චිලාගේ අම්මලාගේ අමාරුකම් දන්නෙත් නෑ. දන්නේ නෑ නෙමෙයි අපි ඒව ගැන විමසිලිමත්ව හොයන්නෙ නෑ. පොඞ්ඩක් හිතලා බලන්න අම්මලාගෙන් අප්පච්චිලාගෙන් වන පුංචි ප‍්‍රමාදයන්ට අපෙන් පිටවන වචන ගැන. ඒවා එයාලට දරන්න පුලූවන්ද කියලා නිකමටවත් හිතුවද? නෑ නේද? ඒ හැම දෙයක්ම දරාගෙන උනත් අපට අඩුපාඩුවකින් තොරව හැම දෙයක්ම කරන්නේ ඇයිද? අපට තියෙන ආදරයටම නේද?

කොහොම කොහොම හරි ඉතින් අපි අපට පුළුවන් විදිහට ඉගෙන ගන්නවා. ඒත් අපේ දෙමව්පියන්ගේ හීන ගැන හිතන්නෙම නැති තරම්. අන්තිමේ O/L වලින්  A/L වලින් නවතින පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් කැම්පස් එනව. මේ තුන්ගොල්ලම ආයෙම රස්සාවක් හොයා ගන්නකම් අර තරම් දුක් විදපු දෙමාපියන්ටම නේද ආයෙම කරදරයක් වෙන්නේ. එයාලට එහෙම උනේ අම්මලා අප්පච්චිලා නිසා කියලා කියන්නේ.  එහෙම කියන කරන එක හොඳයිද? ඒත් එයාලා කවදාවත් අපට වචනයක්වත් කියනවද නෑ නේද?

නමුත් අපටත් සිද්ධ වෙනවා දවසක් ඒ චරිතය රඟ දක්වන්න. අන්න එදාට අපට තේරේවි අපි අපේ දෙමව්පියන්ට කරපු කියපු දේවල් හරිද වැරදිද කියලා. ඒත් ඒ වෙනකොට අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්.

ඒ නිසාමයි ජීවිතය කියන්නේ හරිම අපූරු දෙයක් කියන්නේ. හැමදාම සතුටින් ඉන්නත් බෑ. හැමදාම දුකින් ඉන්නත් බෑ. ඒ නිසාම හෘද සාක්ෂියට එකඟව සාධාරණව හැම දෙයක්ම කරන්න පුරුදු වෙන්න. අප්පච්චිලා අම්මලා අප වෙනුවෙන් දරන දුක් සම්පූර්ණයෙන් ගන්න බැරි නම් කොටසක් හෝ තමන්ගේ කරගෙන වැඩ කරන්න. එතකොට දෙමව්පියෝ ගොඩාක් සතුටු වෙනවා. මොකද මගේ පුතාට දුවට අපි විදින දුක දැන් ම දැනිලා කියලා. කවදා හරි මගේ දරුවෝ ජීවිතේ දිනයි කියලා හිතලා එයාලා සන්තෝස වෙනවා. ඒ සතුටවත් එයාලට දෙන්න.

දුක් විදින්නම  ඕන සැප විඳින්න කීවට දුක් විඳලා විඳලා ලබන පන්නරයෙන් පුළුවන් තරම් සතුට ළඟා කර ගන්න උත්සාහ කරන්න. එතකොට දෙමව්පියන්ටත් ඔයාලටත් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් හැමදාටම.  නව වසරේ ඔබෙත් මගෙත් මව්පියන්ගේ බර සැහැල්ලු කරන වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

 

බුද්ධික කරුණාරත්න

Related posts

Leave a Comment