web analytics
comman කාලීන 

ගුරු භූමිකාවට වටිනාකමක් ලැබෙන්නේ කවදා ද?

ලොව රඳා පවතින සාධක අතර අධ්‍යාපනය නැමැති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහාගෙන එයින් නවමුකරණයක් බිහිවීම තුළිණි. ගුරුවරුන් වනාහි තම දැනුම ගුරුමුෂ්ටියකින් තොරව ශිෂ්‍යයන්ට ලබාදෙන පිරිසකි. ඔවුන් කරන සේවය කිසි දිනක මිල කළ නොහැකිය. වර්තමානයේ ගුරුවරුන්ට වැටුප් ලබාදුන් නමුදු ඔවුන් කරන සේවය ඒ වැටුපට මායිම් නොවන බව පැහැදිලිය.

ගුරුවරයාගේ භූමිකාව ඈත අතීතයට දිවයන්නකි. ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් ද බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, අල්ලාහ් දෙවිදුන් වැනි ශාස්තෘවරයාණන් වහන්සේලා ද ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සේ සැලකිය හැකිය. මක්නිසාද යත් ඔවුන්, ඔවුන්ගේ මුළු ජීවිතයම තමන් දන්නා හා තමන් විසින් අවබොධ කරගත් සත්‍යයන් අන් අයට කියාදී අන් අයට නිවැරදි මාර්ගයන් වෙත හැරවීමට ගත් උත්සහය නිසාවෙනි.

වර්තමානය වන විට නාගරික පාසල්වල සිටින ගුරුවරුන් පිළිබඳව නිරත කතාබහ කරන මුත් ගම්බද පාසල්වල සේවය කරන ගුරුවරුන් සිදු කරන සේවය ඇගයීමකට ලක්වන ප්‍රවණතාවය අඩුය. දුෂ්කර පාසල්වල සේවය කරන බහුතරයක් වූ ගුරුවරුන් තම පවුල ද සමග එම දුෂ්කර පළාත්වලට ගොස් නේවාසිකාගාරවල රැඳී සිට තම දිවිය මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ දිවිය ද පාසල් දරුවන් වෙනුවෙන් කැප කරන්නේ ඔවුන් ලබන වැටුප ගැනවත් නොසළකාය. ජාති ආගම් කුල මල භේද පසෙකලා ගමේ බණ්ඩාගේ පුතා හා නගරයේ පෙරේරාගේ පුතා දක්වා වූ සෑම දෙනාටම තම දූ දරුවන් සේ සලකා දැනුම ලබා දෙන්නේය.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්වා මග නොමග නොවැටී යන තාලේ

සිප්කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන මෙම ගීතයෙන් කියවෙනුයේ දහසක් ගුරුවරුන්ගේ හද ගැස්මයි. ඔවුන් ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගියත් කිසි දිනෙක තම මෙහෙය නිම කරන්නේ නැත.
මෙම ගීතයට පාදක වී ඇත්තේද මෙවන් ගුරුවරුන් පිළිබඳ සිද්ධි සමුදායකි. මෙම ගීතය වාදනය වන වාරයක් පාසා හදෙහි කොතැනක හෝ ගුරුවරයෙකුගේ ඡායාවක් නිසැකවම මැවී යයි. ඔවුන් කරනා මෙහෙය යම්තාක් දුරට අගය කිරීමට මෙම ගීතය පොහොසත් වී තිබේ.

ගුරුවරයාගේ භූමිකාව ඉතා සංකීර්ණය. එනම් ඔවුන් කතා කරන භාෂාවේ සිට ඔවුන් හැසිරෙන ආකාරය දක්වා සියළුදේම යම් කෙනෙකුට ආදර්ශයක් වන අයුරින් සකස් කර ගැනීමට සිදුවේ. මෙයින් ඔවුන්ගේ නිදහස, විලාසිතා කිරීම පවා නවතාලීමට සිදුවේ. ඔවුන් කිසි විටකත් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙති. ඔවුන්ට ඇත්තේ අහිංසක සතුටකි. එනම් තමා උගන්වන හෝ ඉගැන්වූ යම් සිසුවෙක් සමාජයේ ඉදිරිපෙළ සිටිනු දැකීමයි.

දිනුෂිකා ආරියරත්න

 

Related posts

Leave a Comment