web analytics
You are here
comman ගවේෂණ 

මිනිසා විසින් මිනිසා ගිලගැනීම….

සංස්කෘතිය වනාහි අත්‍යන්තයෙන්ම මිනිසා සමග බැඳී පවතින්නකි. මේ පිළිබඳ  එක් එක් සමාජයෙන් සමාජයට ලබාදෙන අර්ථකථනය වෙනස් වේ. මන්ද සංස්කෘතිය යනු එය බිහිකරගත් සමාජයට සාපේක්ෂ වුවකි.සංස්කෘතිය බිහි කරගන්නා ලද්දේ ද මිනිසා විසිනි.එය නෛතිකමය රාමුවෙන් බැහැරව  සමාජය  වඩාත් හොඳින් පාලනය කළ හැකි එකම ප‍්‍රපංචය වේ.සංස්කෘතිය යන විෂය පිළිබඳව ඇති පෞරාණික නිර්වචනය ඉදිරිපත් කළේ ඊ.බී.ටයිලර් නම් සමාජ මානව විද්‍යාඥයා ය .ඔහු විසින් වර්ෂ 1871 දී  රචනා කරන ලද කෘතියේදී  සංස්කෘතිය යනු දැනුම ,ඇදහිලි ,කලා,නීති,සදාචාර ,සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා වු පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි ලෙස දක්වා ඇත . කෙසේ වෙතත් මෙහි හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ 1950-1960 වැනි දශක වලදීය. ඒ ජනප‍්‍රිය සංස්කෘතිය නම් යෙදුම කරළියට පැමිණීමත් සමග ය. මෙය ද වාණිජමය අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා මිනිසා විසින්ම නිර්මාණය කරගත්තකි. මිනිසා විසින් මිනිසා ගිලගැනීම ආරම්භ වන්නේ මෙතැන් සිට ය.ජනප‍්‍රිය සංස්කෘතිය හුදෙක් වෙනම සංස්කෘතියක් නොව පවතින ප‍්‍රවාහයන් තුළින්ම නිර්මාණය වන්නකි. එකම දෙය නම් මෙය තෘප්තිය පදනම් කරගෙන ඇතිවූ නව ප‍්‍රවාහයක් වීමයි. ජන සංස්කෘතියේම ඇති විවිධ දෑ නව ආරකින් ඉදිරිපත් කිරීම මෙන්ම මිලක් නියම කළ හැකි භාණ්ඩයක් බවට පත් කිරීම ජනප‍්‍රිය සංස්කෘතියේදී සිදුවේ.

මෙය ජනතාව අතරට ගෙනයන ප‍්‍රමුඛතම වාහකයා ජන මාධ්‍යයයි. පුවත්පත සහ ගුවන්විදුලියටත් වඩා රූපවාහිනිය මෙහිදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. ජනයාට ප‍්‍රිය උපදවන නැතිනම් ඔවුන්ගේ තෘප්තියට හේතුවන දෑ නිෂ්පාදනය කිරීම මෙහි ප‍්‍රමුඛතම කාර්ය වී ඇත. මාධ්‍ය මගින් නිර්මාණය කරන දහසකුත් එකක් අවශ්‍යතාවන් නිරායාසයෙන්ම ඇබ්බැහිගත පුරුදු බවට පත්වේ. බටහිරින් මතුව ආ මෙම සංස්කෘතික ප‍්‍රවාහය සාහිත්‍ය , රංගනය වැනි කලාවන් පමණක් නොව කෑමබීම ,ඇඳුම් පැළදුම් ,කතාබහ ,සිතුවිලි පවා ආක‍්‍රමණය කොට ඇත .මේ සම්බන්ධයෙන් කොකා -කෝලා සමාගමේ දැන්වීම් ප‍්‍රබල විවේචනයට බදුන් වේ. මෙහි ඇති මුලික ස්වභාවය නම් සංස්කෘතියේ චිරාත් කාලයක් පවතීන දේ නව ආකාරයෙන් ප‍්‍රචාරණය සඳහා භාවිත කිරීමයි. කොකා -කෝලා සමාගම ”ජීවිතේ මල් -කෝක් තියෙන කල්” නම් ආකර්ෂණීය වැකිය පෙරට දමමින් නව පාන සංස්කෘතියක් හඳුන්වා දුනි .අද වනවිට කෙටි කෑමකින් පසු කොකා -කෝලා පානයට තරුණ ප‍්‍රජාව බෙහෙවින්ම ඇබ්බැහි වී ඇත. ”ඊ.ජී.බී නැතුව කෑම එපා , යවුවනයේ පොපියන චමත්කාරය” නව පාන සංස්කෘතියේ ඇදහිලි ය. පීට්සා ,හොට් ඩෝග්ස් වැනි කෙටි කෑම වර්ගයන් දෛනික අහාර පුරුදු අතරට එක් වුයේ ද මෙම ජනප‍්‍රිය සංස්කෘතියේ අවශ්‍යතාවයක් ලෙසය .ව්‍යාපාරිකයන් සෑම විටම ජනමාධ්‍ය තුළින් මවාපාන මායාවන්ට ජනතාව හසුවීම ප‍්‍රබල ගැටළුවකි. මෙය තරබාරුකම ,දියවැඩියාව වැනි රෝග පීඩා ඇති වීමට ද හේතුවක් වේ . ඇදුම් පැළදුම් භාවිතයේදී ද නොයෙක් නොයෙක් විලාසිතා මවාපාන්නේ ද ඒවා හඳුන්වා දෙන්නේද මාධ්‍ය මගිනි.තම අනුග‍්‍රාකභවතාගේ නිෂ්පාදනය නවතම විලාසිතාව ලෙස හඳුන්වා දීමට දැඩි ලෙස පෙළබේ . නමුත් එම හඳුන්වාදීම් වල කිසිඳු පදනමක් නොමැති අතර ඇත්තේ දෙපාර්ශවයේම ව්‍යාපාරික උවමනාවන් මුඳුන් පත්කර ගැනීම පමණි .මෙයම නව දෛනික අවශ්‍යතා වැඩිවීමට මෙන්ම පරිභෝජනවාදී  සංස්කෘතිය නිර්මාණය වීමට ද බලපා ඇත .පරිභෝජනය වැඩිවීම යනු වියදම වැඩි වීමයි. ඒ අනුව රටක ආර්ථික ගැටළු ද උද්ධමනය ද වැඩි වන්නේ පරිභෝජනය වැඩි වීම තුලිනි.මිනිසාට දරා ගත නොහැකි තරමේ අවශ්‍යතාවන් සහිත ජනප‍්‍රිය  සංස්කෘතියක් නිර්මාණය කර ගන්නා ලද්දේ ද  මිනිසාම විසිනි. මාධ්‍ය පරිහරණයට නොව  අනුකරණයට මිනිසා නිතැනින්ම යොමු වීම මෙයට එකම හේතුවයි.  එක්තරා අකාරයකට අප විසින්ම නිර්මාණය කරන ලද ජනප‍්‍රිය සංස්කෘතිය යළිත් අපවම සංකීර්ණ සමාජ පරිසරයකට ඇද දමා ඇත.

තිළාණි බණ්ඩාර

Related posts

Leave a Comment