web analytics
comman සංවාද 

මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම මාගේ අරමුණයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර උපකුලපති, කැලණිය විශ්වවිද්‍යාලය

‘‘මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම මගේ අරමුණ’’ බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසී ය. එතුමා මෙම අදහස් පළ කළේ සමාජීය විද්‍යා පීඨයේ සමාජීය විද්‍යා පර්යේෂණ කේන්ද්‍රය මගින් දෙසැම්බර් මස 30 දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජාතික පර්යේෂණ පරිසංවාදයේ සමාරම්භක උලෙළට සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසී ය.

‘‘මෙරට විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයෙන් පළමු තැනට පත් කිරීම වගේ ම උසස් පෙළ අවසන් වූ පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබන සිසුන් පළමු කැමැත්ත යටතේ තෝරා ගන්නා විශ්වවිද්‍යාලය බවට කැලණිය විශ්වවිද්‍යාලය පත් කිරීම ද තවත් අරමුණක් වෙනවා.

ඒ සදහා ගෙවී යන 2016 වර්ෂයේ බොහෝ ගැටලු මෙන් ම විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. එම ගැටලු සාර්ථකව විසදමින් ඒ පිටුපස තිබූ අභියෝග ජයගැනීමට බොහෝ දැඩි තීරණ ගැනීමට සිදු වුණා. ගෙවී ගිය වසරේ සියලු තීරණ ගනු ලැබුවේ විද්‍යාර්ථීන්ට ශාස්ත්‍රීය ගවේෂණවල නිරතවීමට අවශ්‍ය නිදහස්, සාමකාමී පසුබිමක් නිර්මාණය කිරීමටයි. එහි ප්‍රතිඵල වර්ෂය අවසාන වන විට පවත්වන පර්යේෂණ පරිසංවාදය පැවැත්වීම මගින් එම තීරණවල සාර්ථකත්වය පෙනී යනවා.

එපමණක් නොව විද්‍යාර්ථීන්ගේ විභාග ප්‍රතිඵල ඉතා කඩිනමින් ලබා දීමට ගත් පියවර ද සාර්ථකත්වයට පත් වී තිබෙනවා. වර්තමානය වන විට ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට වඩා කඩිනමින් විද්‍යාර්ථීන් වෙත වඩා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ඉදිරියෙන් සිටීමට හැකියාව ලැබී තිබෙනවා.

වර්ෂයක් අවසාන වී වර්ෂයක් ආරම්භ වන අවස්ථාවක විද්‍යාර්ථීන්ගේ පර්යේෂණාත්ම ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පිළිබඳ අතිශය සතුටට පත් වෙනවා. මෙවැනි ශාස්ත්‍රීය පසුබිමක විද්‍යාර්ථීන් ඔවුනගේ නිර්මාණාත්මක හැකියාව ද වඩාත් වර්ධනය කරගනු ඇතැයි විශ්වාස කරනවා.’’

එහිදී සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා ද මෙසේ අදහස් දැක්වීය.

‘‘සමාජීය විද්‍යා උපාධි අපේක්ෂකයින්ගේ දෙවන ජාතික පර්යේෂණ පරිසංවාදය පිටු පස විශාල පිරිසකගේ සහයෝගය තිබෙනවා. එහිදී පීඨයේ සියලුම ආචාර්ය මෙම පරිසංවාදය සදහා දායකත්වය දැක්වීම සතුටට කරුණක්.  එය සමාජීය විද්‍යා පීඨයට පමණක් නොව අනාගතයේ කැලණිය විශ්වවිද්‍යාලයට බොහෝ ප්‍රතිලාභ අත්කර දීමට සමත් වෙනවා. එපමණක් නොව ශාස්ත්‍රීය දැනුම මෙන් ම එහි ප්‍රායෝගිකව යෙදවීම පිළිබද ගුණාත්මක බවින් ඉහළ පරපුරක් බිහි කිරීමට ද මෙම පර්යේෂණ පරිසංවාදය දායක වෙනවා.

මෙම පර්යේෂණ පරිසංවාද පැවැත්වීමේ සංස්කෘතිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ වර්තමාන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින්. එතුමා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිව සිටි කාලයේ පීඨ පර්යේෂණ මාධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කළා. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් ආචාර්යවරුන්ට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට දිරිගැන්වීම් සිදු කළා. වර්තමානය වන විට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සභාවක් පිහිටු වීමට ද කටයුතු කර තිබෙනවා. සැබැවින් ම ඔහුගේ නායකත්වය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙන් ම පරිපාලන කටයුතු වඩාත් වේගයෙන් මෙන් ම ගුණාත්මක, සංවර්ධනීය තත්ත්වයට ගෙන ඒමට සමත් වුණා.

මෙම පරිසංවාදය මගින් විද්‍යාර්ථීන්ට සිය පර්යේෂණ සංවාදය ලක් කිරීමටත්, ඔවුන්ගේ නව සොයා ගැනීම් රටේ සංවර්ධනයට දායක කරගනීමේ හැකියාව පිළිබද සොයා බැලීමටත්, දැනුම බෙදා හදා ගැනීමටත්, ශාස්ත්‍රීය මග පෙන්වීම් ලබා ගැනීමටත් මනා පිටිවහලක් වනු ඇතැයි විශ්වාස කරනවා.’’

ජාතික සංවර්ධනය සදහා සමාජීය විද්‍යා පර්යේෂණ මැයෙන් පැවැත්වෙන මෙම පර්යේෂණ පරිසංවාදය පර්යේෂණ පත්‍රිකා තුන්සිය අසූවක් (380) සමන්විත විය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා ඇතුළු අංශාධිපතිවරු, ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැති මෙම උළෙලේ ප්‍රධාන දේශනය පුස්තකාල හා විඥාපන අධ්‍යයන අංශයේ ආචාර්ය නාමලී සුරවීර මහත්මිය විසින් සිදු කෙරිණි.

 

සටහන

අමාලි උත්පලා නන්දසිරි

Related posts

Leave a Comment