web analytics
comman සංවාද 

ශ්‍රී ලංකාවේ හරිත සංකල්පය ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය මුල් තැනට

ශ්‍රී ලංකාවේ හරිත සංකල්පය ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය මුල් තැනට පත්විය. කැලණිය විශ්වවිද්‍යාලයට මෙලෙස ඉදිරියට ඒමට  කටයුතු සැලසුණේ 2014 දෙසැම්බර් මස සිට හරිත විශ්වවිද්‍යාලයක් බවට පත් වූ පසුවය. රටවල් 74 ක් සමඟ හරිත විශ්වවිද්‍යාල ලෙස ඉහළ පෙළට ඒමට තරඟ කළ කැලණිය විශ්වවිද්‍යාලය, ලොව 253 වන ස්ථානයත් ලංකාවේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනීමට සමත් විය. මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති විද්‍යා පීඨ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ආචාර්ය යූ.පී.කේ.ඈපා මහතා දැක්වූ අදහස් මෙසේ දක්වමු.

කැලණිය විශ්වවිද්‍යාලය හරිත විශ්වවිද්‍යාලයක් වුණේ කොහොමද?

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා 2014 දෙසැම්බර් 10 දින කැලණිය විශ්වවිද්‍යාලය හරිත විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. එසේ පත් කිරීමත් සමඟ සිදු වූ විශේෂම සිදුවීම ලෙස විශ්වවිද්‍යාලය සියළු කටයුතු ආවරණය වන පරිදි පරිසර ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමට කමිටුවක් පත් කිරිම සිදු වුවා. එම කමිටුව තුළ ආචාර්යවරු, පරිපාලන නිලධාරීන්, ශිෂ්‍යයන් සමන්විත වුණා. එම කමිටුව මඟින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගෙන සමාජයට, පරිසරයට, සංස්කෘතියට වන හානිය අවම කර ගැනීම අරමුණු කර ගැණුනා. විශ්වවිද්‍යාලය තුළ විවිධ ද්‍රව්‍ය, ජලය හා විදුලියෙන් පරිසරයට සිදුවන හානිය අවම කර ගන්න ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කරන්න හරිත සංකල්පය තුළ කටයුතු සිදු වෙනවා. විශ්වවිද්‍යාලයීය මුළුතැන්ගේ අපද්‍රව්‍ය, උද්‍යාන අපද්‍රව්‍ය කාබනික පොහොර බවට පත් කර කාබනික පොහොර බවට පත් කර වැඩි කාබනික පොහොර අලෙවි කිරීමට කටයුතු කිරීම හරිත සංකල්පය තුළ ක්‍රියාත්මකයි. පසුගිය මාස කිහිපය තුළ එමඟින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ගැනීමට හැකි වුණා.

විශ්වවිද්‍යාලය තුළ විදුලිය පිරිමසා ගැනීමේ අරමුණින් Inverter Air Condition භාවිත වෙනවා. විදුලිය පිරිමසා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට හරිත සංකල්පය තුළ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම සංකල්පය තුළ විශ්වවිද්‍යාලයීය කාර්යාල දින වලදී වායු සමනය කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා පමණයි. හරිත සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමේ ක්‍රමවේද පරිපාලන නිලධාරීන්ට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ශිෂ්‍යයන් වෙනුවෙන් Sustainability Leadership Programme ක්‍රියාත්මක කර තිබේ. එමඟින්,

  • ගෝලීය පාරිසරික ප්‍රශ්න
  • හරිත ජීවන රටාවක් ඇති කර ගන්නේ කෙසේද?
  • පරිසර හිතකාමී හරිත විලාසිතා මොනවාද?
  • එස් පහ සංකල්පය
  • කසළ කළමනාකරණය හා එයින් වඩා ප්‍රයෝජනවත් දේ ගොඩ නඟන්නේ කෙසේද?
  • තිරසාර නායකයෙකු වන්නේ කෙසේද?

ආදී මාතෘකා පිළිබඳව කථිකා කරනු ලැබුවා. ගිය වසරේ ශිෂ්‍යයන් 130 ක් පමණ මෙම පාඨමාලාව හදාරනු ලැබුවා. එම පාඨමාලාව හදාරනු ලැබූ ශිෂ්‍යයන්ට ඉදිරියේදී සහතික පත්‍ර ලබා දීමට නියමිතයි. ශිෂ්‍යයන් මේ පිළිබඳ දැනුම්වත් කිරීමට නැචුරාලියා නමින් ප්‍රශ්න වැඩසටහන් අපි පැවැත්වුවා. එයට භික්ෂූන් වහන්සේලා ද ඇතුළුව ශිෂ්‍ය කණ්ඩායම් 24 ක් සහභාගි වුණා.

දැන් විශ්වවිද්‍යාලය තුළ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තිබෙන්නෙ. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ චක්‍රලේඛයක් ද නිකුත් වුණා. මෙහි වටිනාකම තමයි ලංකාවේ අනෙකුත් කිසිම විශ්වවිද්‍යාලයක මෙය භාවිත නොකිරීම.

හරිත සංකල්පය ක්‍රියාත්මක විශ්වවිද්‍යාලවලට ලොව ඇති පිළිගැනීම මොනවගේ ද?

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සාමාජිකත්වය (GUPES) (Green Universities Partnership Environment Sustainability) ලැබුණු එකම ලාංකීය විශ්වවිද්‍යාලය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයයි. ලොව හරිත ක්‍රියාකාරකම් හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන විශ්වවිද්‍යාල අතර ඔවුනගේ ක්‍රියාකාරකම් වර්ග කර ලකුණු දීමක් සිදු කරනවා. එය Green Metric World Ranking වේ. මෙහිදී හරිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් වන කටයුතු වල දත්ත, තොරතුරු ගබඩා කර ඇත්දැයි විමසා බැලෙනවා. එසේම බලශක්තිය අවම භාවිතයෙන් ලෝක දේශගුණික විපර්යාස අවම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, කසල කළමනාකරණය, ජලය කළමනාකරණය, වාහන භාවිතයේදී ඉන්ධන පිරිමසන ආකාරය, තිරසාර සංවර්ධනයට සිදු කරන අධ්‍යාපන වැඩසටහන් ආදී විවිධ මාතෘකාවන්ට මෙහිදී ලකුණු ලබා දීමක් සිදු කරනවා. ඒ අනුව 2016 අපි කරපු කටයුතු වලට ලකුණු ලැබිලා අපි ලංකාවෙන්ම පළවැනි ස්ථානය දිනාගත්තා.

මෙම තරඟය සඳහා සහභාගී වූ රටවල් අතර අමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු අමරිකාව, චීනය, අප්‍රිකාව, ඇල්ගේරියාව, බහරේනය, ෆින්ලන්තය, හොන්ඩියුරාස්, කසකස්ථානය, කර්ගිස්ථානය, නවසීලන්තය, නිකරගුවා, නිගේරියාව, නෝර්වේජියාව,වෙනිසියුලාව ආදී රටවල් පෙන්වා දිය හැකිය.

හරිත සම්මානය පසුපස තිබූ අභියෝග මොනවාද?

ඕනෑම ආයතනයක නව දේවල් ක්‍රියාත්මක කරන විට ගැටළු රාශියක් හමුවෙනවා. තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යාමේදී ආයතන කළමනාකාරිත්වයේ සහයෝගය අවශ්‍යයි. කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ කැපවීම අපි මෙහිදී අගය කළ යුතුයි. එම නායකත්වය නොතිබුණේ නම් අපට මේ ගමන යාම අසීරුයි. හරිත ක්‍රියාකාරී කමිටුවේ සියළු දෙනා කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන්. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. හරිත සංකල්පය යටතේ විශ්වවිද්‍යාලය හැඩ ගැස්වීමට පෙර විශ්වවිද්‍යාල භූමිය තුළ ජලය, විදුලිය, අපද්‍රව්‍ය කොපමන වැය කරනවාද හා බැහැර කරන්නේ ද යන්න පිළීබඳ දත්ත තිබුණෙ නැහැ. අපි මුලින්ම කළේ දත්ත රැස් කරන එක.මෙහි ප්‍රධානම අභියෝගය වුණේ හරිත සංකල්පය ක්‍රියාත්මක කරලා කෙටි කාලයක අත්දැකීම් තමයි කාහටත් තිබුණෙ. යම් යම් අවස්ථා වල විවිධ වැඩසටහන් සඳහා මූල්‍යමය ප්‍රතිපාද ඉල්ලීමට සිදුවෙනවා. ශිෂ්‍ය පුහුණුවීම් කටයුතු වලටත් මූල්‍යමය ප්‍රතිපාදන වල ගැටලුවක් තිබෙනවා.

හරිත සංකල්පය යටතේ තිරසර සංවර්ධනයක් කරා යාමට විශ්වවිද්‍යාලයේ සැලසුම කුමක්ද?

කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට නිසි සැලැස්මකින් හෝ පැහැදිලි දැක්මකින් ගොඩනැඟිලි ඉදිකරාය යන්න පිළිගන්න අමාරුයි. අවශ්‍යතාවට අනුව ගොඩනැඟිලි ඉදිකිරීමක් සිදු වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි හරිත සංකල්පය යටතේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ස්ටාෆ් කැන්ටින් එක අසළ නිමවී ඇති පරිඝණක මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල නිමවුණේ හරිත සංකල්පයට අනුවයි. එහි සම්පූර්ණ ආලෝකය ලැබෙන්නෙ හිරු එළියෙන්. එහි වහළ නිම වෙලා තියෙන්නේ සෝලා පැනල් වලින්. මෙහි වායු සමීකරණ ක්‍රියාත්මක නැහැ. නාගරික සංවර්ධන අධිකාරියත් සමඟ එකතු වෙලා විශ්වවිද්‍යාල භූමියේ අලංකරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික පියවර දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මෙහි අරමුණ ශිෂ්‍යයන්ට ගැවසීමට සුදුසු ආකාරයේ පරිසරයක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඇති කරන එක.  2017 වසර මැද වන විට මෙම කටයුතු අවසන් කිරීමට නියමිතයි.

පැමිණෙන නව ශිෂ්‍ය පිරිසත් සමඟ 2017 වසර සඳහා නව පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විශේෂයෙන්ම දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිරීම‍ට නියමිතයි. තිරසාර සංවර්ධන නායකත්ව වැඩසටහන් 2017 වසරේ දෙවන අර්ධවාර්ෂිකයේ පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. පොලිතින් භාවිතය අවම කිරීමට පරිසර හිතකාමී බෑගයක් හා ආහාර ලබා ගැනීමට කෑම පෙට්ටියක් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.  ජලය, විදුලිය වැනි දේ ශිෂ්‍යයින්ගෙ හැසිරීම (Human Behavior) මඟින්  වෙනස් කිරීමට අප බලාපොරොත්තු‍ වෙනවා.

 

සංවාද සටහන

ඉරෝෂි අචිනි කුලසිංහ

 

Related posts

Leave a Comment