web analytics
You are here
comman කතුවැකිය 

තාරුණ්‍යයේ අපි

‘යොවුන් විය එසේත් නැත්නම් තාරුණ්‍ය ජීවිතයේ සුන්දර ම අවදිය කියලා බොහෝදෙනා පවසනවා. ශරීර ශක්තිය, ජවය රැදුණු මේ කාලය මහ දිග පළලක් තිබෙන කාලයක් නෙවෙයි කියා තවත් සමහරු පවසනවා. ළමා වියේ හා මැදි වියෙන් වට වී ඇති මේ කාලය ජීවිතයේ කෙටිම අවදිය ද වෙනවා. යොවුන් විය පිළිබද කියැවෙන විද්‍යාත්මක මිනුම් දඩු අනුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එය විවිධ අයුරින් අර්ථකථනය කර තිබෙනවා. දිගාසිරි විදින හැම අයෙකුම පසු කරන මේ කාලය සමාජයේ විවිධ බලවේග, ඔවුන්ගේ විවිධ අරමුණු සාධනය කරගැනීමට යොදා ගැනෙනවා.

තාරුණ්‍ය යනු අලෙවි කිරීමට හැකි තේමාවක් නිසා අද අලෙවිකරණයේ තාරුණ්‍යයට ලබාදෙන්නේ වැඩි ඉඩක්. නමුත්, තරුණ්‍ය කේන්ද්‍ර කරගත් මේ බලවේගවලට හසුවීම හා හසු කරගැනීම පසුපස තිබෙන සාධක සැලකිල්ල ගෙන එකිනෙකා වෙත ඇගිලි දිගු කරගැනීමට වඩා, අද තරුණ තරුණියන් වරද්දා ගන්නා තැන අවබෝධ කරගෙන ඊට පිළියම් යෙදීම වැදගත් වෙනවා.

තරුණ වියේ ශාරීරික ශක්තිමත් බව ඇත්තක් වුවත් එකී සවිමත්කම පසුපස මානසික ශක්තිමත් බව තිබේද යන්න සොයා බැලිය යුත්තක්. සංඛ්‍ය ලේඛන ගත් විට, වර්තමාන සමාජයේ අපරාධ සදහා යොමු වන බොහෝදෙනා තරුණ වයසේ පසුවන්නන් ය. සියදිවි නසා ගැනීම්, මංකොල්ලකෑම්, දූෂණ වැනි අපරාධ මෙන් ම ලිංග අපචාරවලට ලක්වීම හා අපරාධ සිදුකර වරදකරුවන් වීම පිටුපස තරුණ තරුණියන් නොමගට යාමේ ප්‍රධාන වරද ඇත්තේ අධ්‍යාත්මික ශක්තිමත්භාවය නොමැතිකම බව පෙනී යයි. තරුණ ජීවිත වරදට පෙලඹෙන හා පොලඹවා ගැනීමට හේතුවන සාධක හදුනාගැනීම, හරි වැරැද්ද තෝරා බේරා ගැනීමේ හා මානසික ශක්තිය, පෞරුෂය වර්තමාන තරුණ පරපුරෙන් ඈත්වීම කෙරෙහි බලපා තිබෙන හේතු විමසා බලා ඊට පිළියම් යෙදීම කාලීන අවශ්‍යතාවක් වන්නේ එබැවිනි.

තාරුණ්‍යෙය් ශාරීරික සවිමත් බව සදා රැදුණක් බව ඒත්තු ගැන්වීමට බොහෝ බහු රූ කෝලම් මවාපාන සමාජයක, තරුණ වියේ සවිමත් බව සදා නොරැදෙන බව අවබෝධ කරගැනීම වැදගත් ය. එබැවින්  තාරුණ්‍ය පොලඹවා ගැනීමේ උත්සාහයේ නිරත පිරිස් ඉදිරිපත් කරන ඕනෑම දෙයක පවත්නා නිවැරදි දේ තෝරා බේරා ගැනීමේ දුරස්ථ පාලකය තිබිය යුත්තේ තමන් සතුවය.

මේ නිසා තරුණවියේ දී පසුවන බොහෝදෙනා තමනට වඩා ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීම් හා ගුණවත් බවින් පොහොසත් පුද්ගලයින් ඇසුරු කිරීමට සවිඥානික විය යුතු ය. අද බොහෝඅය එසේ කරනවා වෙනුවට බලවත් පුද්ගලයින් තමනට ඉතා සමීප බව සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ ගනු පෙනේ. මේ නිසා ලාභය පමණක් ඉලක්ක කරගත් සමාජයක තරුණ්‍යයේ සිතුවිලි මංමුළා කරන සිහිනවලින් මෑත් වී මානසික අවදියකින් කටයුතු කිරීම තරුණ්‍යය අර්ථවත්වීම කෙරෙහි මනා පිටිවහලක් වනු ඇත.

-සංස්කාරක-

 

Related posts

Leave a Comment