web analytics
You are here
comman කාලීන 

පිළිතුරු සෙවීමට කාලයයි….

ලෝකයේ සාකච්ඡාවට බඳුන් කළ හැකි මෙතරම් ප්‍රස්තුතයන් ඇති මුත් නුතන විදග්ධ රචකයින් බොහෝ විට තමාගේ පන්හිඳ හසුරුවනුයේ, සමාජ අසාධාරණය ගුරුකොටගත් මාතෘකා ඔස්සේ තම අදහස් එලෙසින්ම සමාජය ඉදිරියේ නිරුවත් කිරීමටය. මෙම කාරණය පිළිබඳ එක්තරා කාලයක මම පුදුම වූයෙමි. නමුත් සමාජයේ තැලී පෙළී, එකී අසාධාරණ සමාජයේම කොටසක් වූ අද දිනයේ දී මාගේ අතෙහි රුවාගත් පන්හිඳ කඩදාසිය මත දිව යනුයේ සමාජයේ තවත් අඳුරු පැතිකඩක නිරුවත හෙළි කරමිනි. මනුෂ්‍යත්වය පිළිබඳ උදේ හවා කතා කරන ලෝකයක බොහෝ දෙනා ක්‍රියා කරන ආකාරය දුටු විට සැබවින්ම නින්දිතය.

ස්වාර්ථය උදෙසා තම මව මරා ගඟට විසිකළ හැකි පුතුන් සිටින සමාජයකින් අපිට විද්‍යාමාන වනුයේ එදා බුදුන් වහන්සේ වඳාළ යුගයේ ඇරඹුම යැයි පැවසීම සෑම අතින්ම සාධාරණ යැයි සිතමි. මේ කියන්නා වූ කරුණු කාරණා සඳහා සීමා මායිම් නොමැත. ඇත්තේ මනුෂ්‍යත්වය හීන වූ ස්වාර්ථය පමණි. විශ්වවිද්‍යාලය තුළ වුවද මෙකී කාරණය අරුමයක් නොවේ. සැමට සම අයිතීන් ඉල්ලා ගිරිය කඩාගෙන කෑ ගසන විශ්වවිද්‍යාල ශිෂ්‍යා ද විශ්වවිද්‍යාල දොරකඩින් එළියට බසිනුයේ තවකෙක් පාගා ස්වාර්ථය වෙනුවෙන් කැපවෙන සමාජයකටය. එකී බඩගෝස්තරවාදී සමාජය තුළ ඔහු බලනුයේ සැමට සම තැන උදා වන්නා වූ ඒ ෆැන්ටසි දිනය උදාවන තුරු නොවේ. ඔහුගේ පරම අභිලාෂය තවකෙකුගේ කරමතින් නැඟ, තවකෙකු පාගා ප්‍රථමයා වීමටය. එහිදී සමාන අයිතීන් උදෙසා කෑ ගැසූ සටන් පාඨ ඔහුගේ ආත්මයෙන් වියැකීගොස් ඇත.

නිදහස් අධ්‍යාපනය නම් වූ අත්වාරුවේ එල්ලී සරසවිය වෙත පියමනින බහුතරය රන් හැන්ද මුවෙහි රුවාගෙන මෙලොව එළිය දුටු අය නොවේ. ඔවුන්ගෙන් බහුතරයකට සමාජය පිළිබඳ ඇත්තේ ඊර්ෂ්‍යාව, ද්වේශය මුසු වූ මාන්නයකි. මෙම ඕලාරික බුද්ධිගෝචර නොවූ හැඟීම් සමුදාය සමාජයට නිරාවරණය වනුයේ බිත්තරයක් තුළ කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූ කළලයකින් මතුවන මකරෙකු ලෙසය. ඔවුහු සැම කල්හිම වෙර දරනුයේ තවකෙකු පෑගීමටය.බොරුව, මුළාව මධ්‍යගත කොටගත් පිරිසක් තමා වටා රැස් කර ගැනීමටය. නමුත් සැමදාම ඔවුන් වටා මේ කියන්නා වූ පිරිස නැති බව ඔවුන්ට අමතක වී ඇත. එය මතක් වන විට ඔවුන් පෑගීමට තැත් කළ පිරිස ඔවුනට බොහෝ ඉදිරියෙන් සිටිනු ඇත. එදිනට සිදු වනුයේ තමාගේ අතීතය පිළිබඳ පසුතැවීමටය.

සමාජය මෙතරම් කුහක වීමට හේතුව කුමක්ද? මුදල්ද? ස්වාර්ථයද ? නැතහොත් භාෂාවේ වදනක් නොමැති ප්‍රපංචයක්ද?  පිළිතුරු සෙවීමට කාලය එළඹ ඇත.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment