web analytics
comman NEWS 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා විද්‍යාර්ථීන්ට පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙන් ම වෙනත් වෙනත් අධ්‍යයන සඳහා සීමා රහිතව පූර්ණ ශිෂ්‍යත්ව

චීන සංචාරයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා විද්‍යාර්ථීන්ට පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙන් ම වෙනත් වෙනත් අධ්‍යයන සඳහා සීමා රහිතව පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට ෂිචුවාන් උපකුලපතිතුමන්ගේ අනුමැතිය හිමි වුණා.

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා-

 

චීන ලංකා සහයෝගිතාව ඉදිරියටත් පවත්වා ගෙන යාමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා පීඨ පීඨාධිපතිතුමන්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයෙකු හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යෙකු යන සිව් දෙනෙක් පසුගිය වසරේ දෙසැම්බර් 22 දින චීනය බලා පිටත් වූහ. මෙම සංචාරයෙන් විශ්වවිද්‍යාලයට ලැබීමට නියමිත වරප්‍රසාද පිළිබඳ එම සංචාරය සහභාගී වූ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා දැක් වූ අදහස් මෙසේ ගොනු කරමු.

චීන රාජ්‍ය වෙත සංචාරය සදහා පසුබිම නිර්මාණය වූයේ කොහොමද?

            මේ සංචාරය පෞද්ගලික සබඳතාවක් මතයි සිදුවුණේ. මා පශ්චාත් උපාධිය හැදෑරුවේ චීනයේ ෂිචුවාන් විශ්වවිද්‍යාලයේ. එම විශ්වවිද්‍යාලයේ ගුරුවරයා මා සමඟ සමීප සබඳතාවක් පැවැත්වුවා. පශ්චාත් උපාධිය ලබා ගැනීම තුළින් පමණක් අපේ සම්බන්ධතාව නතර නොවී ඉදිරියට රැගෙන යා යුතු බව එතුමාගේ අදහසක් වුණා. ෂිචුවාන් විශ්විවිද්‍යාලෙ අදහස වුණේ සහායෝගීතා ව්‍යාපෘතියක් කැලණිය විශ්වවිද්‍යාලය සමඟ පැවැත්විය යුතු බවයි. අප අධ්‍යයන අංශයේ දෙවොලපොල කැනීම් කටුයුතු වල කාල නිර්ණය සඳහාත්, ඉදිරි කැනීම් කටයුතු සඳහාත් සහයෝගය ලබා දීමට ෂිචුවාන් විශ්වවිද්‍යාලය කැමැත්ත ප්‍රකාශ කළා. එහිදී දෙවොලපොල ප්‍රදේශයේ ඇති සුසාන භූමියේ වට ප්‍රමාණය කොපමණද යන්න මැන ගනිමින් මවිසින් සැකසූ පර්යේෂණ යෝජනාවලිය ෂිචුවාන් විශ්යයිද්‍යාලය වෙත ලැබී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් 22 වන දින චීනයේ ෂිචුවාන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා සංස්කෘතිය සම්බන්ධ අධ්‍යයන අංශය වෙත අප සිව් දෙනාට යාමට හැකි වුණා. එහිදී උණුසුම් පිළිගැනීමක් අප හට ලැබුණා.

මෙම සංචාරයේ අරමුණු වූයේ මොනවාද?

            මූලිකම අරමුණ වුණේ චීන ලංකා සහයෝගිතා ගිවිසුමකට අත්සන් කිරීම.  අප චීනය වෙත ගිය පළමු දින පැවැත්වූ රැස්වීමෙන් ඔවුන්ගේ අරමුණ අපට පැහැදිලි කළා. විශ්වවිද්‍යාල මට්ටමෙන් පමණක් නොව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පුරාවිද්‍යා අධ්‍යයන අංශයත් චීනයත් එකතු වන පළමු අවස්ථාව මෙයයි. මෙයට පෙර අවස්ථා දෙකකදී මෙවැනි අවස්ථා ලැබී තිබුණත් සෘජුව පුරාවිද්‍යා අධ්‍යයන අංශය හා සම්බන්ධ වන පළමු අවස්ථාව වන්නේ මෙය. ප්‍රධානම අරමුණ අධ්‍යයන අංශ මට්ටමින් අපි කරපු කැනීම් වලට උදව් ලබා ගැනීම. එසේම ‍ඓතිහාසික වශයෙන් චීනයත් ලංකාවත් අතර තිබුණු සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කිරීමත් මෙමඟින් අරමුණු කර ගැණුනා.

චීන සංචාරයෙන් විශ්වවිද්‍යාලයට ලැබුණු ප්‍රතිලාභ මොනවාද?

            විද්‍යාර්ථීන්ට හා ආචාර්ය මණ්ඩලයට අධ්‍යයන කටයුතු සඳහා චීනයේ අවස්ථාව විවර වී තිබෙනවා. එහිදී නොයෙක් ව්‍යාපෘති සඳහා හුවමාරු වැඩසටහන් දෙරට අතර පැවැත්වීමට සහෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව තිබෙනවා. ෂිචුවාන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ගේ අදහස වුණේ පුරාවිද්‍යා විෂයට පමණක් නොව අනෙකුත් ඕනෑම විෂයක පර්යේෂණ කටයුතු සඳහා එරට දොරගුළු විවර වෙනවා කියන එක. චීනයේ අවුරුද්දකට දෙවරක් පැවැත්වෙන වැඩසටහන් වලින් ශිෂ්‍යයෝ පර්යේෂණ සඳහා යොමු කරනවා. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයටත් ඉදිරියට සහභාගි වීමට ඉඩහසර වෙන් වෙනවා. මෙම සංචාරයේ ඇති ඉතාම වැදගත් දේ තමයි දෙරට සහභාගිත්වයෙන් සිදු වෙන Publication සඳහා දෙරටේම අයිතිය හිමිවීම. ලංකාවේ කාල නිර්ණයට හා විවිධ විශ්ලේෂණ සඳහා පහසුකම් අවමයි. අප සිදුකරන පුරාවිද්‍යා අධ්‍යයනවල කැණීම් කොටස් (Sample) වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට යැවීමට මෙම සංචාරයෙන් පසු ඉඩ විවර වුණා. චීන සංචාරය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා විද්‍යාර්ථීන්ට ආචාර්ය උපාධි හා පශ්චාත් උපාධි මෙන් ම වෙනත් වෙනත් අධ්‍යයන සඳහා සීමා රහිතව පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට ෂිචුවාන් උපකුලපතිතුමන්ගේ අනුමැතිය හිමි වුණා. මේ අනුව ඕනෑම පර්යේෂකයෙකුට පර්යේෂණ යෝජනාවලියක් ඉදිරිපත් කර තම අධ්‍යයන කටයුතු සදහා අනුමැතිය ලබාගතහොත් ශිෂ්‍යත්වය ලබා ගැනීමට හැකි වෙනවා.

            ෂිචුවාන්හි තේමාව වන්නේ One Belt One Road යන්නයි. ඒ යටතේ ලංකාවේ පුරාවිද්‍යා ස්ථානයක් තෝරා චීනයත් සමඟ එකතු වී කැනීම් කටයුතු කිරීමට අප ඉදිරියේදී බලාපො‍රොත්තු වෙනවා. ලංකාවේ උතුරු හා නැගෙනහිර වරායන්හි දැනටත් මතුපිටින් චීන මැටි බඳුන්හි සාධක ‍තිබී ඇත. සේද මාවත මුල් කරගෙන අතීතයේ තිබූ චීන ලංකා සංස්කෘතික, ආර්ථික හා සමාජීය සබඳතා කෙබඳුද අධ්‍යයනය කිරීමත් මේ යටතේ සිදු කිරීමට නියමිතයි.

 

සංවාද සටහන

ඉරෝෂි අචිනි කුලසිංහ

 

 

Related posts

Leave a Comment