web analytics
comman ගවේෂණ 

සිංහල ගීතයේ පුනරාගමනය

ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයකි. ගීතයක නාද මාධූර්ය කනට ඇසෙන මොහොතේ සිට ගීතයේ විචිත්‍රවත් බව රසිකයාගේ මනෝභාවයන් ප්‍රබෝධයට පත් කරයි. ඒ අයුරින් රසිකයා පිනවීමට හැකි ගීතය නිර්මාණකරණයෙහි අපූර්වතම වූ කලාංගයකි. සිංහල භාෂාවට අනුව ගී පද, ගේය පද, ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍යය පද්‍ය රචකයන් විසින් ගීත බවට පත් කර සංගීතඥයන් විසින් ස්වර හසුරුවා තනුවක් නිර්මාණය කරනු ලබයි.

කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේ දී එහි කාව්‍ය රසය සැඟව යන අවස්ථා තිබුණද එදා ගීත රචකයන් කාව්‍ය රසයට වඩා අර්ථ රසයට මුල් තැන දෙන ලදී. සැබෑ කාව්‍ය රචකයාගේ වගකීම වන්නේ නව්‍යතාවය කරා යෑමේ දී සාම්ප්‍රධායේ ආස්වාදය සහ අර්ථ රසය ආරක්ෂා වන පරිදි භාෂාව භාවිත කිරීමය. ගීතය කාව්‍ය අංගයක් වන කල්හි එහි අර්ථ රසයක් නොවන්නේ නම් සාහිත්‍යයේ වචන භාවිතයේ සාර්ථකත්වයක් දැකිය නොහැකිය. අර්ථ රසය හා සාම්ප්‍රධායික බව පාදක කරගත් ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයේ අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්.රත්නායක, මහගමසේකර වැනි කිවිඳුන්ගේ ගීත බොහොමයක් සිංහල සාහිත්‍යයේ එන භාෂා සංඝටක, රීති, උපමා රූපක, හා ශෘංගාරාත්මක බව මනා සේ විදහා දක්වමින් ගීතයට නගා ඇත. එය නිර්මාණකරුවාගේ අපූර්වතම හැකියාවයි.

පෙරදින මා පෙම් කළ යුවතිය

සිය පුතු නලවනවා

මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්

ඈතීන් මතුවෙනවා

 

පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය මගින් කාලයාගේ බලපෑම, අනිත්‍යතාවය, හා පුද්ගල ජීවිතයේ වෙනස් වීම පිළිබඳව මනාව අරුත් කොට පෙන්වා දී ඇත. එදා ගීතය තුළ ඉස්මතුව පෙනුන ප්‍රධාන සාහිත්‍යමය ස්වභාවය ද එයයි. එදා ගීත රචනා කරන ලද කවීන් සමාජය තුළ සිදු වන බොහොමයක් ප්‍රශ්න තමාගේ ඇසින් දැක එය තමා ලද අත්දැකීමක් ලෙස සලකා අරුත් රසය හා සාම්ප්‍රධායික බව ආරක්ෂා කොට ගනිමින් ගීතය තුළින් අර්ථයක් රසිකයාගේ ජීවිතයට ලබාදෙන ලදී. එය සාර්ථක කලා නිර්මාණකරුවාගේ සහජ හැකියාවයි. තම නිර්මාණය රසික මනස තුළ රඳවා තැබීමට දක්ෂ ගී පද රචකයා නිරන්තරයෙන් උත්සාහ ගනු ලබයි. එදා ගීතය තුළින් රසික මනසට ප්‍රබෝධයක්, ආකර්ෂණයක්, හා යම් අවබෝධයක් ලබා දීමට ගී පද රචකයා සමත් වන්නේ මැනවින් ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර සාහිත්‍යයේ  රසය මැනවින් හඳුනාගත් නිසාවෙන් විය හැකිය.

නමුත් අද වන විට ගීතය වාණිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. කිසිසේත් අර්ථ රසය ගැබ්වී නොමැති සිතු සේ සංගීත භාණ්ඩ හසුරුවමින් ශබ්ධ රසයට පමණක් සීමා වූ අමුතුම ගීතයන් අද වන විට නිර්මාණය වෙමින් පවතී. රසිකයාගේ හැඟීම්, මතකයන් යළි යළිත් මතු කරන හා  රසික සිත් විරහවට යට කරමින් රැල්ලට නිර්මාණය වන ගීතය අද වන විට මුදලට සීමා වී ඇත.  එක් ගීතයක් නිර්මාණය කිරීමට  ගී පද රචකයන් යැයි කියමින් පෙනී සිටින ඇතැම් උදවිය තිස් හතලිස් දහසට කිසිසේත් අරුත් නැති වචන මාලාවක් ලියා වෙන්දේසි කරනු ලබන තත්ත්වයට අද වන විට ගීතය පත්ව ඇත. සාහිත්‍යය මෙන්ම සමාජ සබදතා හෑල්ලුවට ලක් කරමින් ඇතැම් උදවිය ගීත නිර්මාණය කරනු ලබන අතර, ඒ සඳහා නිර්මාණය වන රූප රචනාවන්ද සිංහල සංස්කෘතිය හා සදාචාරාත්මක බවෙන් පිට පනින ලද නිර්මාණයන්ය.

එදා ගී පද රචකයන් තුළ එදා ගීතයේ තිබූ අර්ථ රසය, ශෘංගාරාත්මක බව, සාහිත්‍යයේ ගැබ් බව, සදාචාරාත්මක බව, පරිසර, සමාජ වර්ණනා ජීවිතයේ අනිත්‍යතාවය, වැනි බොහොමයක් දේ අද ගීතය තුළ නොමැත. රසිකයා වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට තරම් එදා මෙන් දක්ෂතා ඇති ගී පද රචකයන් අද අප අතර නොමැති වීම දුකට කරුණකි. දක්ෂ ගී පද රචකයාගේ කාර්යය විය යුත්තේ සමාජයට මෙන්ම රසිකයාටත් තම නිර්මාණයන් තුළින් යම්කිසි අවබෝධයක් රසික ජීවිත තුළට ලබාදීමය.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment