web analytics
You are here
comman කාලීන 

අස්වැන්න නෙළීමේ උත්සවය හෙවත් තෛයි- පොංගල්

ස්වභාවධර්මයේ  ප්‍රධාන අංගය වන සූර්යයාට කෘතගුණ සැලසීම සඳහා සූර්ය වන්දනාව හෙවත් සූර්යයා නැමදීම නිමිත්ත කර ගනිමින් තෛයි- පොංගල් නමැති හින්දු උත්සවය  සෑම වර්ෂයක ම ජනවාරි මස මැද හරියේ දී පැවැත්වේ.

මානව සමාජ ඉතිහාසයෙන් ඉතා ඈතට විහිදී යන මෙම උත්සවය ක්‍රි.පු 2500-1000 අතර කාලයේ බටහිර ආසියාවේ සිට ඉන්දියාවට පැමිණ එහි පදිංචි වූ ආරයයන්ගේ සමාජවල පැවති බව පිළිගැනේ. එහිදී තම අස්වනු පැසීම, වියළීම සහ එම කටයුතු කරගැනීම සඳහා යහපත් කාලගුණයක් ලබාදීම වෙනුවෙන් ගෞරව කිරීමක් වශයෙන් හිරු දෙවියන් පිදීම සිදුකර ඇත. හිරුගේ පිහිටෙන් ලබාගත් අස්වැන්න ප්‍රථම කොටස කෘතගුණ පූර්වකව එම දෙවියන්ට පිළිගන්වමින් ” අනාගතයේ දී අපි මෙසේ ඔබ පුදන්නෙමු. ඒ නිසා අපගේ අස්වනු සරු කළ මැනවි” යන ඉල්ලීම පෙරදැරි කරගනිමින් කටයුතු කරයි.

හින්දු භක්තිකයෝ තෛයි – පොංගල් උත්සවය සඳහා වසරක් වසරක් පාසා පූර්ව සූදානමින් කල් ගත කරයි.ඔවුන් උත්සව දින අලුයම පිබිදී කහ සහ තලතෙල් වැනි ද්‍රව්‍ය ශරීරයේ ගා ස්නානය කොට උත්සවය පැවැත්වෙන කාමරයේ බිම සහල්, තල හා මුං ඇට බඳු ධාන්‍ය සහ කහ කුඩු ආදීය යොදා කෝලම් රටා අදියි. ඉන් නොනැවති නිවසේ පිට ස්ථානයක සෑදු ලිපක් මත තබා අලුත් සහල්, කජු, මුං, තල, හකුරු සහ එළකිරි යෙදූ කිරිබතක් පිස  ගනු ලැබේ. පොංගල් බත නමින් ද මෙය හඳුන්වයි. මල්, බුලත් හා සුවඳ ආදී ද්‍රව්‍ය සමඟ මෙම කිරිබත හිරු දෙවියන්ට පිදීමෙන් අනතුරුව සියලුදෙනා පිරිසිදු වතින් සැරසී කෝවිල වෙත ගොස් එහි පැවැත්වෙන ආගමික කටයුතුවලට සහභාගී වේ.

ගෘහවාසී ගවයන් සහ එළදෙනුන්ට විශේෂ සැලකීමක් දක්වමින් එම සතුන් වසන ගාල් ආදීය ප්‍රතිසංස්කරණය කොට පවිත්‍ර කිරීම, සතුන් නෑවීම, මල් මාලා හා කිංකිණී ආදීයෙන් සැරසීම මෙම උත්සවයේ පවතින තවත් විශේෂත්වයකි.

ශතවර්ෂ ගණනාවක් පුරා හින්දු සමාජවල අඛණ්ඩව පැවත එන තෛයි – පොංගල් උත්සවය හින්දු භක්තිකයන් පොදු බැම්මකින් බැඳලන ස්වභාවයකින් යුක්තවන්නා සේම හින්දු සංස්කෘතිකාංග මැනවින් විදහාපාන උත්සවයකි.

 

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment