web analytics
comman සංවාද 

ජීවිතයට බොහෝ වටිනාකම් ප‍්‍රමාණයක් හිමි වූයේ ක‍්‍රීඩාවේ නිරතවීම නිසයි. – බැඩ්මින්ටන් ක්‍රීඩිකා අචිනි රත්නසිරි-

කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනික අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වර්ණ ප‍්‍රදානෝත්සවය නිමාවට පත් වූයේ පසුගිය දෙසැම්බර් 23 වන දිනයි. බැඩ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලාංකික ශ්‍රේණිගත කිරීම් හි යුගල අංශයේ දෙවන ස්ථානයත් කේවල අංශයහි සිව්වන ස්ථානයත් ලෝක ශ්‍රේණිගත කිරීම් හි 219 ස්ථානයත් හිමිකර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර අධ්‍යයන ශාස්ත්‍රවේදී විශේෂ (දෙවන වසර) උපාධි පාඨමාලාව හදාරන අචිනි රත්නසිරි සමත් විය. මෙවැනි දක්ෂතා නිසාම ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය මගින් පවත්වන්නට යෙදුනු වර්ණ ප‍්‍රදානෝත්සවයේ දී  වසරේ දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූයේ ද ඇයයි. එපමණක් නොව බැඞ්මින්ටන් ක‍්‍රීඩාව තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග‍්‍රහණ  රැසකට හිමිකම් කියනු ලබන අචිනි රත්නසිරි ක‍්‍රීඩිකාව 2015 වසරේදී ද දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත් වීමට හැකි විය. සිය ක්‍රීඩා ජයග්‍රහණ පිළිබද ඇය දැක් වූ අදහස් මෙසේ සටහන් කරමු.

 ඔබ ක‍්‍රීඩාව සඳහා සම්බන්ධ වූයේ කෙසේද?

ලින්ස්ඬේ බාලිකා විද්‍යාලයහි අධ්‍යාපනය හදාරන අවධියේදී තමා මුලින්ම බැඞ්මින්ටන් ක‍්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. ලින්ස්ඬේ බාලිකාවේ බැඩ්මින්ටන් පුහුණුකාරිය වශයෙන් කටයුතු කළ ඉරේෂා ද සිල්වා ගුරු මහත්මිය තමා මාව මුලින්ම මේ සඳහා යොමු කලේ. මේ අනුව මම මුලින්ම බැඩ්මින්ටන් ක‍්‍රීඩා කිරීම ආරම්භ කරන්නේ 2002 වර්ෂයේ 02 ශ්‍රේණියේදී. ඉන් පසුව 09 ශ්‍රේණියේ දී  කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වෙනවා ඉන් පසුව මේ දක්වා බැඩ්මින්ටන් ක‍්‍රීඩාව තුළ නිරත වනවා.

ක‍්‍රීඩාවල නිතර වීම මගින් ඔබ ලබා ඇති ජයග්‍රහණ මොනවාද?

බැඩ්මින්ටන් ක‍්‍රීඩා කිරීම ආරම්භයේ සිට මේ දක්වා විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් ලබා තිබෙනවා. එහිදී 2009 වර්ෂයේ අවුරුදු 16න් පහළ ආසියානු කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ යුගල අංශයේ රන් පදක්කමත් මිශ‍්‍ර යුගල හා කණ්ඩායම් අංශයේ ලෝකඩ පදක්කමත් ජයග‍්‍රහණය කළා.

2011 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ තරගාවලියේ යුගල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා. 2012 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ කණ්ඩායම් අංශයේ රිදී පදක්කමත් කේවල හා යුගල අංශයේ ලෝකඩ පදක්කමත් ජයග‍්‍රහණය කරනු ලැබුවා. 2012 බංග්ලාදේශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කේවල හා යුගල අංශයේ රන් පදක්කම් දිනාගනු ලැබුවා. සුදර්මාන් මිශ‍්‍ර බැඩ්මින්ටන් තරගාවලියේ 04 වන කාණ්ඩයේ ශූරතාවය දිනාගනු ලැබුවා.

2014 වර්ෂයේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ තරගාවලියේ කේවල, යුගල හා කණ්ඩායම් අංශයේ දක්ෂතම 08 දෙනා අතරටත් 2016 වර්ෂයේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ තරගාවලියේ කණ්ඩායම් අංශයේ රිදී පදක්කමත් යුගල අංශයේ ලෝකඩ පදක්කමත් ජයග‍්‍රහණය කලා.  2016 වර්ෂයේ රුසියාවේ පැවැත්වූ ලෝක විශ්වවිද්‍යාල බැඩ්මින්ටන් තරගාවලියේ කේවල අංශයේ  දක්ෂතම 16 අතරට පැමිණීමට ද හැකි වුණා.

2009, 2010, 2011 ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ කේවල අංශයේ හා යුගල අංශයේ බැඩ්මින්ටන් ශූරිය බවට පත් වුණා, ඒ වගේම පාසල් සමයේදී කණිෂ්ඨ අංශයේ 11න් පහළ 13න් පහළ 15න් පහළ 17න් පහළ 19න් පහළ වයස් සීමාවන්හි දී නොකඩවා කේවල හා යුගල අංශයේ ශූරතාවය ජයග‍්‍රහණය කරනු ලැබුවා.

2007 වර්ෂයේ පවත්වන්නට යෙදුනු ආරියදාස අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලියේ 14න් පහළ මිශ‍්‍ර යුගල හා කේවල අංශයේ ශූරතාවයත්, විවෘත අංශයේ කේවල, යුගල හා මිශ‍්‍ර යුගල යන අංශ පහ එක් ක‍්‍රීඩිකාවක් දිනාගත් වාර්තාවත් සනිටුහන් කිරීමට හැකි වුණා.

ඒ වගේම 2015 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාල තරගාවලියේ ශූරතාවයත් 2016 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල තරගාවලියේ දෙවන ස්ථානයත් ජයග‍්‍රහණය කරනු ලැබුවා.

ඉදිරියේ දී මම බලාපොරොත්තුව වන්නේ මීළග ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීම. ඒ වගේම තමා 2018 වර්ෂයේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනික වශයෙන් උසස් අයුරින් උපාධිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වනවා. වාර්ෂිකව ජාතික මට්ටමින් පැවැත්වෙන තරග වලින් ජයග‍්‍රහණය කර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමටත් බලාපොරොත්තු වෙනවා.

ක‍්‍රීඩාව නිසා ඔබේ ජීවිතයට ලැබුණ ප‍්‍රතිලාභ මොනවාද?

ජීවිතයට බොහෝ වටිනාකම් ප‍්‍රමාණයක් හිමි වූයේ ක‍්‍රීඩාවේ නිරතවීම නිසා. මෙනිසාම මා හට ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පාසලකට ඇතුළත් වීමට අවස්ථාව උදා වුණා. පාසල් අධ්‍යාපනය අවසන් කරන විටම ඵජ ඛැර්බැි ආයතනයේ සන්නාම තානාපතිනියක් වශයෙන් කටයුතු කිරීමටත්, ලංකාව නියෝජනය කරමින් විදේශීය තරග වලටත් සහභාගි වීමට හැකි වුණා. විශ්වවිද්‍යාල වරම් ලැබීමට අවස්ථාව හිමි වූයේද ක‍්‍රීඩාවෙහි නිරතවීම නිසා බව  විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

පාසලේ පවතින නිදහසට වඩා නිදහසක් මෙන්ම කාලයක් විශ්වවිද්‍යාලය තුළ පවතිනවා. මෙනිසා එම කාලය ප‍්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපනික කටයුතු වල වගේම ක‍්‍රීඩාවකද නිරත විය යුතු බව මගේ අදහසයි. කිසියම් ක‍්‍රීඩාවක නිරතවීම තුළින් විශ්වවිද්‍යාල වර්ණ ලබාගැනීමට ද අවස්ථාවක් උදා වනවා. විශ්වවිද්‍යාලය තුළින් උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව රැකියාවකට අවතීර්ණ වීමේදී ක‍්‍රීඩාවක නිරතවීමත් වර්ණ ලබා තිබීමත් බෙහෙවින්  වැදගත් වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය තුළදී යහපත් කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමටද ක‍්‍රීඩාව බෙහෙවින් ඉවහල් වන බැවින් ක‍්‍රීඩාවක නිරත වීම වැදගත්.

ක‍්‍රීඩාව තුළින් මෙතරම් දුරක් ඒමට දායක වූ පිරිසට ස්තූති කිරීමටද මෙය මම  අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම මගේ පවුලේ සියලූදෙනාටත්, මුල්ම පුහුණුකරු වූ ශ‍්‍රීමාල් අපොන්සු මහතා ඇතුළු දේශීය විදේශීය පුහුණුකරුවන් සියලු දෙනාටත්, මා රැකියාවෙහි නිරත වන McLarens Group ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියළු කාර්යය මණ්ඩලයටත්, මා අධ්‍යාපනය ලැබූ ලින්ස්ඬේ බාලිකා විද්‍යාලයේ හා කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාටත්, ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ඒකකයටත්, විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන්ටත්  බෙහෙවින් ස්තූතිවන්ත වනවා.

 

සංවාද සටහන

බුද්ධික කරුණාරත්න

 

Related posts

Leave a Comment