web analytics
You are here
comman කාලීන 

විභාග භීතිකාවට පිළියමක්

විභාගයක්‌ ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක්‌ ඇත වේ . මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ.මෙසේ ඇති වන බිය නිසාම විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදය, චර්ම රෝග හා මානසික පීඩා ද ඇති විමේ ප්‍රවණතාවය වැඩිය. ඇතැම් විද්‍යාරථීන්ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්‌ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක්‌ දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක්‌ අතට බියක්‌ ඇති වූවායැයි විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා පලා යැම නො ව බිය පරාද කිරීම ය.

කඩඉම් විභාග රාශියක් ජයගෙන විශ්වවිද්‍යාල වරම් ලැබූවද  සැබෑ කැප වීමක්‌ ඇති විද්‍යාරථියකුට පවා විභාග බිය ඇති විය හැකි ය. එය සාමාන්‍යය තත්ත්වයකි. විභාග බිය හේතු කීපයක්‌ නිසා ඇති විය හැකි ය. පළමුවැන්න නිසි ලෙස සූදානම් නො වීමයි. දෙවැන්න විෂය කරුණු නිසි ලෙස පරිහරණය කරන්නට නො ලැබීමයි. තෙවැන්න තමා අන් අය විසින් විනිශ්චයට බඳුන් කරනු ලබතැයි යන සිතිවිල්ල හා  මවුපියන් හා ගුරුවරුන් තමා ගැන තබන ලද විශ්වාසය බිඳ වැටේ ද යන්න නිතර සිතීමෙන්  ඇති කරගන්නා භීතිය ,සම වයසේ මිතුරු මිතුරියන් ගේ කතාබහ  පෙන්වාදිය හැක.”මං නම් මෙච්චර පාඩම් කළා. ඔයා තවම ඔතන ද?” වශයෙන් ඇතැමෙක්‌ අනෙකා ගේ සිත බිඳ දමති. එනිසා මිතුරා මිතුරිය කෙතෙක්‌ පාඩම් කර ඇත් දැයි අසන්නට යැමෙන් වළකින්න.

විභාග භීතිකාව ප්‍රබලව ම ඇති වන ප්‍රධාන අවස්‌ථාව වන්නේ ප්‍රශ්න පත්‍රය අතට ගන්නා මොහොතයි. එක පිට එක අමාරු ප්‍රශ්න දකින විට සමහරු ක්‌ලාන්ත වෙති. සමහරුන් ගේ දැස්‌ නිලංකාර වී යයි. පළමු ප්‍රශ්නය අමාරු එකක්‌ නම් එය අතහැර දෙවන ප්‍රශ්නයට යන්න. විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ලැබී ඇති කාලය නිසිපරිදි කළමණාකරණය කරගන්න. යහළුවන් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ආකාරය පිළිබඳ නොසිතන්න.තමා දන්නා කරුණු ක්‍රමවත් අයුරින් භාවිතයට ගන්න. යහළුවන් ප්‍රශ්න පත්‍රයට ලිව් හැටි අසන්නට යැම ද නො කළ යුත්තකි. එවිට ද තමා ගැන කලකිරීමක්‌ ඇති වීමට ඉඩ තිබේ. එසේ ම විභාගයට ඔන්න මෙන්න කියා තිබිය දී අලුත් විෂය කොටස්‌ ඉගෙන ගන්නට යන්නට එපා. එමඟින් දන්නා දේ ද අමතක වී යා හැකි ප්‍රවණතාවය වැඩිය.තමන් ගේ දක්‍ෂතාව ගැන යම් විශ්වාසයකින් සිටීම අවශ්‍ය ය. එහෙත් අධික විශ්වාසයත් එතරම් හොඳ නැත. අධික විශ්වාසය නිසා කෙනකු පාඩම් වැඩවලට උනන්දු නො වී සිටීමට ඉඩ ඇත. “මං දන්නවා මට පුළුවන් කියා. ඉතිං මොකට ද තව මහන්සි වෙන්නේ”යි සිතෙන්නට ඉඩ ඇත.නමුත් අවසන් මොහොත දක්‌වා පාඩම් කටයුතුවල යෙදීම සුදුසු ය.

විභාග කාලයේ දී එක දිගට පාඩම් කිරීමේ දී වෙහෙස ඇතිවීම සාමාන්‍යය. මේ කායික හා මානසික වෙහෙසින් මිදෙන්නට ඉඳහිට විවේකයක්‌ ගැනීම සුදුසුය. පැය දෙක තුනක පාඩම් කාලයකින් පසු මිනිත්තු පහක, දහයක විවේකයක්‌ ගැනීම ඒ කාලය තුළ ගීතයක්‌ ඇසීම,ව්‍යායාමයක යෙදීම, ඉතා කෙටි වේලාවක්‌ ක්‍රීඩාවක යෙදීම ද සුදුසුය. එහෙත් විභාග කාලයේ දී රූපවාහිනි නැරඹීමට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට හෝ යොමුවීම අවම කරලීම වඩාත් සුදුසුය. මන්ද ඉන් පිටතට ඒම අසීරු වන්නට ඉඩ ඇති බැවිනි.විභාග භීතිකාව දුරලීමට හොඳ ම ක්‍රමයක්‌ වන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සපයාගෙන විභාගයක්‌ සේ සලකා ලිවීමයි. මෙය එතරම් අපහසු ක්‍රියාවක්‌ නො වේ. පෙනී සිටීමට බලාපොරොත්තු වන විභාගයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර හෝ ආදරශ ප්‍රශ්න පත්‍ර කට්‌ටල ද සොයාගනිම්න් නියමිත කාලයට අනුව විභාගයකය උත්තර ලියනවා සේ මේ ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න. තමා අවට විභාගයට අවශ්‍ය පරිදි විභාග පරිසරයක්‌ ගොඩ නගාගන්න.

විභාගය පැවැත්වෙන අතර දී යම් දිනක විභාග ප්‍රශ්න පත්‍රයක්‌ ලියා අවසන් වූ පසු ඒ ගැන හිතන්නට වීම,හිතීමෙන් සැනසීමට පත් නො වී ඇතැමුන් තමා ලියූ උත්තර හරි ද බලන්නට ද යති. ඒ සඳහා මිතුරන් සමඟ සාකච්ඡාවට මෙන්ම සටහන් පොත් බලන්නට ද යති. මෙමඟින් පාඩු දෙකක්‌ සිදු වේ. පළමුවැන්න වටිනා කාලය නාස්‌ති වීමයි. දෙවැන්න ඔබ යම් ප්‍රශ්න පත්‍රයකට අසාර්ථක ලෙස උත්තර ලියා ඇත්නම් ඒ ගැන දැන ගන්නට ලැබීමයි. එවිට ඔබට සිතට අපහසුතාවක්‌ ඇති වේ. එම අපහසුතාව ඔබ ගේ ඉදිරි ප්‍රශ්න පත්‍ර සාර්ථකව කිරීමට බාධාවකි. එදිනෙදා ලබා දෙන ප්‍රශ්නවලට හොඳම ලිවීම කළ යුතු මුත් ලිවීමෙන් පසු ලියූ උත්තර හරි ද වැරැදි ද බලන්නට යැම  විභාග තිබිය දී මුග්ධ ක්‍රියාවකි.

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment