web analytics
You are here
comman සංවාද 

‘‘හොඳ තීරු ලිපි රචකයෙක් වෙනවා නම් ඔහුට සමාජය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක් තිබිය යුතුයි. එවිට ඔහුට පුළුවන් සංවේදී මනසක් ඇති කරගන්න.’’ මාධ්‍යවේදි වන තිඹිරියාගම බණ්ඩාර

සාහිත්‍යවේදියෙකු සහ ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකු වන තිඹිරියාගම බණ්ඩාර මහතා පුවත්පත් විශේෂාංග රචකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයකු, නවකතාකරුවකු ලෙසින් අද්‍යතනයේ ගෞරවයට පත් සුවිශේෂී පුද්ගලයෙකි. බාලේ පටන් නන්විධ පුවත්පත්හි ලේඛන කටයුතුවල යෙදුණු මෙතුමන් ‘මනස් සිතුවිලි, සම්භාෂා, ගමේ විත්ති, බණ්ඩාගේ වාක්‍ය’ ආදී  තීරු ලිපි රචනා කළ අතර පසුගිය වසරේ ප‍්‍රකාශයට පත් කළ රිදී දිය රැළි බිඳී කාව්‍ය ග‍්‍රන්ථය ඔහුගේ පස්වන කාව්‍ය කෘතියයි. කිසිවකු විචාරයකට ඉදිරිපත් නොවූ කල සුගතපාල ද සිල්වා මහතාගේ  අමුතු ඉලන්දාරියා කෘතියට ‘අමුතු ඉලන්දාරියා  සහ සාහිත්‍ය විචාර චින්තාවලී’ නමින් විචාර කෘතියක් රචනා කරන්නේ විචාර සාහිත්‍යට නව අරුත් එක් කරමිනි. එතුමන් සිය සාහිත්‍ය නිර්මාණ පිළිබඳ දැක්වූ අදහස් කිහිපයක් මෙසේ පළ කරමු.

  • ඔබ සාහිත්‍ය තුළ කවිය, නවකතාව, සාහිත්‍ය විචාර, තීරු ලිපි ආදී බොහෝමයක් ඉසව් ස්පර්ශ කළ පුද්ගලයෙක්. මේ අතරින් ඔබේ සුවිශේෂී ම සාහිත්‍යය මානය කුමක්ද?

මේ විෂයන් අතරින් වැඩියෙන් ම මං යොමු වෙලා තියෙන්නේ තීරු ලිපියට. ග‍්‍රන්ථ විදිහට ගත්තමත් මේ වන විට තීරු ලිපි පොත් හයක් පළ කරලා තියනවා. මා දිගටම යෙදිලා හිටියේ පුවත්පත් වෘත්තියේ හින්දා තීරු ලිපි රචනය තමා වැඩිපුරම කරලා තියෙන්නේ. ඊළඟට මගේ ප‍්‍රියතම සාහිත්‍ය මානය තමයි කවිය.

  • ඔබේ තීරු ලිපි පොත් අතරින් බණ්ඩාගේ වාක්‍යපිළිබඳව සඳහන් කරමුද?

මගේ තීරු ලිපි විවිධ  විෂයන් යටතේ විවිධ නම්වලින් ලියලා තියනවා. ඒවා අතර උපහාසාත්මක, සමාජ හා දේශපාලනමය, කලාව සහ තවත් විෂයන් යටතේ ලියවුණු තීරු ලිපි තියනවා. නමුත් වැඩිම කාලයක් ලියලා තියෙන්නේ බණ්ඩාගේ වාක්කිය කියන උපහාසාත්මක තීරු රචනය. ඒකේ මේ වනවිට වෙළුම් තුනක් ප‍්‍රකාශයට පත් කරලා තියනවා. ඒත් එක්කම දැනටත් ඒ තීරු ලිපිය සිළුමිණ ජාතික පුවත්පතේ ලියනවා. ඒ කියන්නේ ඒකේ ආයුෂ කාලය මං හිතන විදිහට අවුරුදු විස්සකටක් වැඩියි. සතිපතාම ලියවුණු තීරු ලිපි රචනා තමයි මේ තීරු ලිපි එකතුවේ අන්තර්ගත වෙන්නේ.

 

  • “තීරු ලිපිය පිළිබඳව නිසි කතිකාවක් ගොඩ නැගිලා නෑ” කියලා මතයක් තියනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

තීරු ලිපි රචනය පුවත්පතක අත්‍යවශ්‍යම අංගයක් විදිහටයි සලකන්නේ. සාමාන්‍යයෙන් ඉරිදා පළවන ජාතික පුවත්පතක් ගත්විට තීරු ලිපි කිහිපයක්ම පළ වෙනවා. ඇතැම් පුවත්පත්වල තීරු ලිපි දහයකටත් වැඩි ප‍්‍රමාණයක් පළ වෙනවා. ඒ නිසා තමයි පුවත්පතකට අත්‍යවශ්‍යම අංගයක් විදිහටයි තීරු ලිපිය සැලකෙන්නේ. උදාහරණ විදිහට ගත්තම පුවත්පත් කලාවේ මුල් අදියරේ රචකයින් වුණු මාර්ටින් වික‍්‍රමසිංහ, හේමපාල මුණිදාස, පියල් වික‍්‍රමසිංහ ආදීන් තීරු ලිපි ඉතිහාසයේ ප‍්‍රබලයින් ලෙසින් සලකනවා. ප‍්‍රමුඛම තීරු ලිපි රචකයා ලෙසින් ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සලකන්න පුළුවන්. එතුමා වර්ෂ 1947 ඉඳලා අවුරුදු විස්සකට ආසන්න කාලයක් ‘වගතුග’ කොලම ලියා තියනවා. නමත් තීරු ලිපිය සම්බන්ධයෙන් තියන විචාර කතිකාවත අනික් සාහිත්‍යාංග තරම් පුළුල් නෑ. නවකතාව, කවිය, කෙටිකතාව ආදිය සම්බන්ධයෙන් පවතින මට්ටමේ පුළුල් කතිකාවක් තීරු ලිපියකට නෑ. නමුත් යම් ප‍්‍රමාණයකට තිබෙන බව කියන්නත් පුළුවන්. තීරු ලිපිය සම්බන්ධයෙන් පර්යේෂණ නිබන්ධන සිදු කිරීම්, පොත් පත් පළවීම් ආදියත්, විශ්වවිද්‍යාල මට්ටමෙන් මාධ්‍ය විෂයට අදාලව යම් ප‍්‍රමාණයකට සාකච්ඡා වූවාට විචාරාත්මක සහ පුළුල් කතිකාවත් තාමත් ඒ ගැන ගොඩ නැගිලා නෑ.

  • ආධුනිකයෙක් තීරු ලිපි රචනය වෙත යොමු වෙනවා නම් ඔහු සතු විය යුතු දේ මොනවාද?

පළමු වෙනි දේ තමයි මෙතෙක් පළ වෙලා තියන හොඳ තීරු රචනා, විශේෂාංග ලිපි සහ කතුවැකි ආදිය කියවන්න අවශ්‍යයයි. මොකද වචන සංඛ්‍යාව ගත්තත් මේ ලිපි බොහෝ සමානත්වයෙන් යුතුයි. තීරු ලිපි කියන්නෙම කෙටි රචනා විශේෂයක්. නමුත් ගවේෂණාත්මක රචනයක් ගත් විට දීර්ගයි. තීරු ලිපියක් වචන ප‍්‍රමාණය හාරසියයක් හෝ පන්සියයක් වන කොලමකින් හෝ කොලම් දෙකකින් යුතු රචනයක්. අනිවාර්යෙන්ම එවිට සංක්ෂිප්ත රචනයක් විය යුතුයි. අනික් කාරණාව තමයි තීරු ලිපියේ විෂය තෝරා ගැනීම. මෙහිදී සමාජ විමර්ශනයක්ද, උපහාසය දනවන්නක්ද, වින්දනාත්මක ලිපියක්ද යන්න තමාගේ කුසලතාවය අනුව තෝරා ගැනීම ඉතා වැදගත්. හොඳ තීරු ලිපි රචකයෙක් වෙනවා නම් ඔහුට සමාජය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක් තිබිය යුතුයි. එවිට ඔහුට පුළුවන් සංවේදී මනසක් ඇති කරගන්න.

 

  • ඔබතුමා සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කොහොමද?

සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ඉන්න බහුතර පිරිස වගේම මාත් ශිෂ්‍ය අවධියේ ඉඳලම නිර්මාණකරණයේ යෙදුණා. 70 දශකයේදී සරසවිය පුවත්පතේ කෙටි සිනමා විචාර ලියමින්, 80 දශකයේදී යොවුන් ජනතා සහ අනිකුත් පුවත්පත්වල සාහිත්‍ය විචාර, කවි, කෙටිකතා ආදිය ලියමින් ලේඛන කලාවට එක් වුණා. මගේ ලේඛන කලාවේ ආරම්භය වර්ෂයකින් සඳහන් කිරීමට නොහැකි වුවත් මතකයේ හැටියට ළමා පුවත්පත් රචකයෙක් විදිහට මිහිර ළමා පුවත්පතින් තමයි 60 දශකයේ අග භාගයේ දී මං රචනයට එක් වෙන්නේ.

  • සාහිත්‍යාංගයකට විචාරයක් අත්‍යවශ්‍යමද?

ඔව්.  ඕනෑම නිර්මාණයක් දියුණු වෙන්නේ විචාරයත් එක්ක. විචාරයේ විවිධ මට්ටම් තිබිය හැකියි. ගීතයක් ශ‍්‍රවණය කරලා එය හොඳ හෝ නරක යැයි කියන එකත් සාහිත්‍යයේ එක් විචාර මට්ටමක්. සාහිත්‍ය විචාරය කියලා පළල් අර්ථයෙන් ගත්විට ඔහු විචාරකයෙක් බවට පත් වෙන්නේ දියුණු රසිකයෙක් ලෙසින්. සාමාන්‍ය රසිකයෙක් තමන්ගේ හැඟීම් වචනයකින් දෙකකින් ප‍්‍රකාශ කරන විට දියුණු විචාරකයෙක් ඒ කෘතිය විශ්ලේෂණය කරනවා. රසවිඳි ආකාරය, රසවින්දනයට බාධා වුණු ආකාරය ආදිය පිළිබඳ ඔහු සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි ඇතමුන් සාහිත්‍ය විචාරය, ‘සාහිත්‍ය නිර්මාණය ඇසුරින් කරන ප‍්‍රතිනිර්මාණයක්’ කියලා හඳුන්වන්නේ. කෙසේ නමුත් සාහිත්‍යයක් දියුණු වන්නේ හෝ හොඳ සාහිත්‍යයක් නිර්මාණය වෙන්නේ සමකාලීන සාහිත්‍ය නිර්මාණය පිළිබඳව පුළුල් විචාර කතිකාවක් ඇති වීමෙන්.

  • රිදී දිය රැළි බිඳී කාව්‍ය ග‍්‍රන්ථය ගැනත් සඳහන් කරමුද?

මේ මගේ පස්වැනි කවි පොත. මේ පොත පළ වෙලා බොහෝම කෙටි කාලෙකින් දෙවැනි මුද්‍රණයත් නිකුත් කරන්න සිදු වුණා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රත්න ශ‍්‍රී විජේසිංහ, ජේ.ජේ වික‍්‍රමසේන, ලියනගේ අමරකීර්ති, එස්.ජී. පුංචිහේවා වැනි ප‍්‍රබුද්ධ විචාරකයෝ මේ කවි පොත පිළිබඳ සියුම් නිරීක්ෂණ රාශියක් ඉදිරිපත් කළා. ඒ වගේම මං දකින විදිහට රසිකයොත් ආදරයෙන් රිදී දිය රැළි බිඳී කෘතිය වැළඳගත්තා. හැබැයි මේ පොත කිසිම සම්මාන උළෙලක නිර්දේශ වුණු පොතක් නෙවෙයි. කොහොමත් කෘතියක් නිර්මාණය කරන්නේ සම්මාන හෝ වෙන යම් දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඉතින් රසිකයෝ අතරට යනවා නම් එය ප‍්‍රමාණවත්. මගේ කවි පොත්වලන් වැඩියෙන්ම රසිකයින් අතරට ගිය පොතත් මේ රිදී දිය රැළි බිඳී කෘතිය.

  • වර්තමානයේ පවතින ලාංකේය සාහිත්‍ය සම්බන්ධයෙන් සමස්ත වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?

සාහිත්‍ය කියන දේ කලින් කලට වෙනස් වෙනවා, අලූත් වෙනවා වගේම වෙනස් ප‍්‍රවනතාවන් එක් වෙනවා. අපි කියවීමට පටන් ගත් කාලයේදී දේශීය සාහිත්‍යයේදී නවකතා නම් යථාර්ථවාදී නවකතා තමයි කියෙව්වේ. කොළඹ කවිය සහ පේරාදෙණිය කවිය අතර විශාල ගැටුමක් තිබුණු කාලයක් ඒ යුගය. වර්තමානයේදී යථාර්ථවාදය ඉක්මවා ගිය අධි යථාර්ථවාදී කෘති පළ වෙනවා. කවිය සම්බන්ධයෙන් ගත්තම පෙර තිබුණු ගුරු කුල මතවාද අඩු වී නිදහස් විදිහට කවිය වර්ධනය වෙනවා. කෙටිකතාව, සිනමාව, වේදිකා නාට්‍ය වැනි සෑම ක්ෂේත‍්‍රයකම නව ප‍්‍රවනතා දකින්න පුළුවන්. මුල් අවධියේ රසවින්ඳට වඩා සංකීර්ණ මනෝභාවයන් සහ ජීවන අත්දැකීම් මේ නිර්මාණවලට පාදක කරගන්නවා. සිනමාව ගත්විට හෝ ගානා පොකුණ, ඔබ නැතුව ඔබ එක්ක වගේ සිනමා කෘති, කවිය ගත්විට රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ඇහි පියන් ඇහැරලා, හිම පියල්ලක, නඳුන් යසිත දසනායකගේ විල් නෙතක මල් මතක, ළහිරු කරුණාරත්නගේ කටු තුඩග ගිනි පහස, විපුලි නිරෝෂිණි හෙට්ටිආරච්චිගේ රූ, ධනුෂ්ක එදිරිවීර බණ්ඩාරගේ රැය විඳිමි නො විඳිමි  වගේ නූතන කවිය බොහෝ දුරට වර්ධනය වෙනවා. කවියෝ කාව්‍ය ක්ෂේත‍්‍රයේ සාම්ප‍්‍රදායික කවීන්ගෙනුත් ආභාසය ලබමින් නිදහස් කවිය යම් සංධිස්ථානයකට ගෙනත් තියනවා.

 

සංවාද සටහන

නලිනිකා ලක්ෂාණි

 

Related posts

Leave a Comment