web analytics
You are here
comman ගවේෂණ 

නවම් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසය වන පෙබරවාරිය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ නවම් මස යනුවෙනි. නවම් මස ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම මාසය අධික අවුරුද්දක යෙදුණි නම් දින 29 කින් ද නැතහොත් දින 28 කින් ද සමන්වත වීමයි. දින දර්ශනයේ දෙවන පෝය වන්නේ පෙබරවාරි මස යෙදෙන නවම් පොහොයයි. නවම් පොහොය බුදු සසුනේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික දිනයකි. සුදුස්සන්ට සුදුසු තැන ලබා දීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සිදුවූවේ නවම් පොහොය දිනයක ය. සම්බුද්ධ ශාසනයෙහි ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පොහෝ දිනයකය. බුදුන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය වදාළීම හා බුදුන් වහන්සේ විසින් ආයු සංස්කාරය කිරීම සිදුවූයේ ද නවම් පොහෝ දිනයක වීම විශේෂත්වයකි.

පෙබරවාරි මාසයේ යෙදෙන නිදහස් දිනය ලාංකිකයන්ට සුවිශේෂි  දිනයකි. හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භූමිය දීන බවින් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1948 පෙබරවාරි මස 04 වන දිනය. වර්ශ 1815 දී ඉංග්‍රීසි ජාතිකයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 වර්ශයේ පෙබරවාරි මස 04 වන දින නිදහස් අසිරියෙන් යළි ආලෝකමත් විය. මව්බිමේ අසිරියත්, ශ්‍රී විභූතියත් නිදහසේ රැව් පිළිරැව් දෙමින් පැතිරෙන්නට වූයේ අභීත ජාතියක් ලෙස ලෝකයා හමුවේ නැගී සිටීමේ අවස්ථාව උදා වූ නිසාමය.

පෙබරවාරි මාසයේ යෙදෙන තවත් සුවිශේෂී දිනයකි ආදරවන්තයන්ගේ දිනය. වැලන්ටයින් දිනය යනුවෙන්ද හැඳින්වෙන මෙය එළැඹෙන්නේ සෑම වසරකම පෙබරවාරි මස 14 වැනිදාට ය. ශුද්ධ වූ වැලන්ටයින් දිනය ලෙස ද හඳුන්වන ආදරවන්තයින්ගේ දිනය සාම්ප්‍රධායිකව ආදරවන්තයින් විසින් සමරනු ලබයි. මෙදින සුභ පැතුම් යැවීම්, මල් පොකුරු යැවීම් මඟින් තම ආදරවන්තයින්ට ලබැදියාව ප්‍රකාශ කරයි.

පෙබරවාරි මාසයේ යෙදෙන මහා ශිව රාත්‍රී දිනය හින්දු භක්තිකයන්ගේ විශේෂ පූජා දිනයකි. ශිව දෙවියන් නමස්කාර කරමින් සහ ශිව පාර්වතී විවාහය සිදු වූ දිනය සිහි ගන්වමින් ලොව පුරා හින්දි බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය සමරති. ශිව දෙවියන් විෂ්ණු සහ බ්‍රහ්ම යන දෙවිවරුන් අතර උසස් බව සම්බන්ධයෙන් මතුවූ ගැටළුව නිරාකරණය කර දුන් දිනය ලෙස ද හින්දු බැතිමතුන් විසින් මහා ශිව රාත්‍රී දිනය සැමරීම විශේෂත්වයකි. ශිව රාත්‍රියේ පහන් දැල්වීම තුළින් ඔවුන් සංකේතවත් කරන්නේ මනුෂ්‍ය වර්ගයා මෝහය දුරු කර දැනුම සෙවීමට ගන්නා නිරන්තර පරිශ්‍රමයයි.

 

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment