web analytics
You are here
comman කතුවැකිය 

සිතේ තබාගෙන නොසිට ලියා තැබීමට නම්..

පසුගිය දවසක උදෑසන මා හමුවීමට පැමිණි අපගේ ශිෂ්‍යාවක් පවසා සිටියේ  ‘අනේ සර් කොච්චර කල්පනා කළත්  මොකක්වත් හොද දෙයක් ලියාගන්න බෑනේ. ලියන්න කිසි අදහසක් නෑනේ. කොච්චර වෙර වීරයි කරලා ලිව්වත් අපි ලියන දේවල් පත්තරේ පළවෙන්නේ නෑනේ.’ ඇගේ කතාව අසා සිටි මා ඇය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ ලියන කලාව නැමැති කුඩා පොත් පිංච පරිශීලනය කරන්නැයි කීවේය.

‘එක් ගසක් යට තවත් ගසක් හොදින් නොවැඩේ. නොයෙක් විට ගසකට කිට්ටුවෙන් පිහිටි ගස පවා හැදීමෙන් බාල වන සැටි දැක්ක හැකිය. ගසක් හොඳින් හැදීමට ඉඩකඩ සහිත වූත් බාධා රහිත වූත් තැනක් වුවමනා බව මෙයින් පැහැදිලි වේ. ලේඛකයෙකුටත් මෙබඳු නිදහස් පරිසරයක් වුවමනාය. එසේ නොමැතිව ඔහු දේශපාලන බලයකින් හෝ වෙනයම් බාධාවකින් වැසී ගියොත් මැඩෙන්නට වූවහොත් ඔහුගෙන් ඉටුවිය යුතු සේවය පිරිහේ.

ගස් කොළන්වලින්  හෝ ගෙවලින් බාධා නැති නිරාවරණය වූ අහසට නැගුණු විට කුරුල්ලකුට සිත් සේ පියෑඹිය හැකි ය. ලේඛකයාටත් සිය චින්තන ශක්තිය ක්‍රියා කරවීමට මෙබඳු ඉඩක් හෙවත් නිදහසක් තිබිය යුතු ය.

බඹරැන්දේ සිරි සීවලී හිමි

ලියන කලාව

සිරි සීවලී හිමියන් පවසන්නාක් මෙන් නිදහස් අදහස් ගලනයට බාධා පැමිණෙන කිසිදු පරිසරයක නිර්මාණශීලී ලේඛකයෙකු හෝ ලේඛනයක් පහළ නොවේ.

නූතන විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට මෙම චින්තනයේ නිදහස අත්‍යවශ්‍ය වේ. දේශන, පැවරුම්, ක්ෂේත්‍ර චාරිකා, Presentations හා විභාගවලින් හෙම්බත්ව සිටින විද්‍යාර්ථියාට චින්තනයේ නිදහස උදාකර දීමට කටයුතු කිරීම කාලෝචිත වූවකි.

ඉදිරි දැක්මක් නොමැතිකම, පටු ජීවන දැක්ම මෙන් ම විවිධ ආකල්පමය දුර්වලතා නිසා මිනිසාගේ සිතීමේ ඉම පුළුල් නොවේ. මෙය ජන ජීවිතයට මෙන් ම නිර්මාණකරණයට බලපායි. මිනිසාට සිය මනසේ හටගන්නා හැඟීම් කියාපෑමට තරම් නිර්මාණශීලී ප්‍රවේශයක් නොමැති වීම සමාජ අර්බුද උද්ගත කිරීම කෙරෙහි බලපායි.

ඕනෑම ලේඛනයක් විවිධ අත්දැකීම් සහ හැඟීම්වලින් පෝෂණය වූ විට සාරවත් වේ. අත්දැකීම්, භාෂා ඥානය සහ ලේඛන ශෛලීන් පිළිබඳ දැනුමැති තැනැත්තා විශිෂ්ට ලේඛකයෙකු බවට පත් වේ. සජීවි අත්දැකීමෙන් තොර ජීව ගුණයක් නොමැති ලේඛනය ප්‍රාණවත් නොවූවකි. එමෙන් ම පාඨකයාට ජීවිතානුභූතියක් සලසා දිය හැකි ස්ථිර පදනමකින් සහ ජීවන දෘෂ්ටියකින් තොර ලේඛනය පාදමක් නැති නිවසක් වැනිය.

‘ලිවීම කලාවකි. එය කලාවක් බවට පත් වූයේත් ලිවීම නිසාම ය. මෙයට අයත්  ප්‍රධාන අංග දෙකකි. එයින්  එකක් ලිවීම ය. අනික ක්‍රමානුකූලව ලිවීමය. නිකම්ම ලියූ පමණින් හෝ වැඩියෙන් ලියූ පමණින් හෝ ලිවීම කලාවක් නොවේ. ඒ සදහා ක්‍රමවත්ව, කලාත්මකව ලිය යුතු ය…..  මෙසේම විචාරයක් හෝ හැඟීමක් නැතිව, ක්‍රමයක් හෝ මිම්මක් නොදැන, අදහසක් හෝ අරමුණක් නැතිව ලියන්නා උසස් ලේඛකයෙකු නොවේ.

බඹරැන්දේ සිරි සීවලී හිමි

ලියන කලාව

සන්නිවේදනයේ පදනම නිර්මාණශීලී ලේඛනය යි. ලොව පවතින සියලු විෂය ධාරා ගොඩනැගෙන්නේ සන්නිවේදනය ඇසුරු කරගනිමිනි. සන්නිවේදන මූලිකාංග නොහදාරන්නෙකුට සන්නිවේදන ක්‍රියාවලිය මැනවින් වටහා ගැනීමට නොහැකි වේ. එබැවින් ඵලදායි සමාජ මෙහෙවරක් සදහා නිර්මාණශීලී සන්නිවේදනය උප යුක්ත වේ.

 

සන්නිවේදනයේ පදනම භාෂාවයි. භාෂා අධ්‍යයනයෙන් තොරව සාර සන්නිවේදනයෙහි යෙදීමට නොහැකිය. ඒ අනුව නිර්මාණශීලී සන්නිවේදකයෙකු විවිධ ලේඛන ශෛලීන් සහ භාෂා රටා හැදෑරිය යුතු ය. මයිකල් හැලිඩේට අනුව සිතුවිලි ගොඩනැංවීම භාෂාවේ ප්‍රමුඛ කාර්යභාරයකි. ඕනෑම අයෙකුගේ සිතීමේ ඉම ඔහු පරිශීලනය කරන භාෂාව මත තීරණය කෙරේ. එබැවින් ස්වකීය හැඟීම් අන් අයට සන්නිවේදනය කිරීමට සිතන කවුරුන් වුවද භාෂාව සහ එහි නිර්මාණාත්මක ප්‍රවේශ හඳුනා ගැනීමට යත්න දැරිය යුතුය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ

සංස්කාරක

2017.04.07

Related posts

Leave a Comment