web analytics
comman කාලීන 

බක්මහේ සූර්යය සංක්‍රාන්තිය

ග්‍රෙගරිගේ  දිනපොතට  අනුව කටයුතු කරලන ලාංකිකයන්ට අප්‍රේල් මාසය එනම් බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසය සුවිශේෂී ය. මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහළින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැකි ය. මේ හා සමඟාමීව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය ‘අලුත් අවුරුද්ද’ වන අතර දෙමළ භාෂාවෙන් මෙය ‘පුත්තාන්ඩු’ ලෙස හඳුන්වයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එන බව අපට කියනුයේ කොවුලා ය. මෙය පරම්පරා ගණනාවක ම සිට ශ්‍රී ලාංකික සමාජයේ මුල් බැස ගෙන ඇති මතයකි. අවුරුදු සමය සංකේතවත් කරමින් පිපෙන පුෂ්පයක් ලෙස එරබඳු මල සැලකේ. මෙම සමයේ දී පමණක් එරබදු ශාකයේ මල් පිපීම සහ මෙම මල ඉතා අලංකාරවත් මලක් ලෙස පරිසරය වර්ණවත් කිරීම මීට හේතුවේ.

පරිසරයේ මෙවන් විපර්යාස සිදුවනාවාත් සමඟම මිනිසාගේ චර්යාවන්ගේ වෙනස්කම් රාශියක් ද බක් මාසය උදාවත්ම සිදුවේ. නව වර්ෂය ආරම්භයේ පටන් බොහෝ දෙනෙක් වෙහෙසෙනුයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාරථක කරගැනීමට කාලය ශ්‍රමය වැයකොට මුඳල් උපයාගැනීමටය. ඇතමෙක් අලුත් ඇදුම් පැලදුම් පමණක් නොව නිවස හා ගෘහභාණ්ඩ පවා නවමු තත්ත්වයකට පත්කරලමින් ස්වභාවිකවම පරිසරයට ලැබෙන්නාවූ ආලෝකයට කෘත්‍රීම අලංකාරයක් ද එක් කරයි. වැඩිහිටියාගේ පටන් කුඩා දරුවා දක්වාම භාහිර විපර්යාස රැසක්ම දැන හෝ නොදැන සිදුකරලයි. බාහිර ආටෝපය කොපමණ සාර්ථක වූවත් සෑම වර්ෂයකම සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රාන්ති වීම අඛණ්ඩව සිදුවූවත් පවතින ගැටලුව නම් මිනිසුන් බාහිර වශයෙන් කොපමණ අංකාරවත් වූවත් අභ්‍යන්තරික වශයෙන් ඔවුන්ගේ සංක්‍රාන්තියක් පැහැදිලිව දැකගත නොහැකි වීමයි.

ඇතැම් විට අලුත් අවුරුද්ද සමරන්ට නැති නෑදෑකම් ඇතිකර ගනිමින් තරහ මරහ බිදකට අමතක කරලන්නන් නැවත බක් මස ගෙවෙන්නටත් ප්‍රථම අදූරදර්ශී සිතුවිලි පමණක් නොව ක්‍රියා ද සිදුකරලමින් සිටියාටත් වඩා තරහකාරයින් ඇති කරගනී. නමුත් සිදුවිය යුත්තේ සෑම වර්ෂයක පාරිසරිකව සිදුවන විපර්යාස හේතුකොට උදාවෙන අලුත් අවුරුද්ද ජාති ආගම් වරණ භාෂාව වශයෙන් භේදයක බදුන් නොකට මිනිසාගේ අයහපත් සිතුවිලි ආකල්ප චර්යා යහපත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍යය තීරණ නව අවුරුදු උදාවත් සමඟ ක්‍රමවත් කරගැනීමයි. එයයි සැබෑ ලෙසම මිනිසා අවබෝධ කරගත යුතු බක්මහේ සූර්යය සංක්‍රාන්තිය යි.

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment