web analytics
You are here
comman NEWS 

ඉතිහාසය අධ්‍යයන අංශ විද්‍යාර්ථීන්ගේ “ප්‍රථම ශාස්ත්‍රීය පර්යේෂණ පරිසංවාදය 2017”

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය අධ්‍යයන අංශය මඟින් සංවිධානය කළ උපාධි අපේක්ෂකයන්ගේ “ප්‍රථම ශාස්ත්‍රීය පර්යේෂණ පරිසංවාදය” පසුගිය දා (අප්‍රේල් 06) සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් වන පර්යේෂණ සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් පුහුණු කිරීම මෙම පර්යේෂණ පරිසංවාදයේ අරමුණ වන අතර මෙහි  ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති,  ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් පවත්වන ලදි.

මෙහිදී පීඨාධිපතිවරයා අදහස් දක්වමින් “සමාජීය විද්‍යා පීඨයේ පුස්කොළ පොත් පර්යේෂණ සහ සංරක්ෂණ පුස්තකාලය පර්යේෂණ සඳහා නව ප්‍රවේශයක්” බව පවසා සිටියේය. පුස්කොළ පොත්වල ඇති ඥාන සම්භාරය පිළිබඳව විද්‍යාර්ථීන්ගේ අවධානය යොමු විය යුතු බව සඳහන් කළ එතුමා, වර්තමානය වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පුස්කොළ පොත්වල ඇති ඥාන සම්භාරය පිළිබඳ පර්යේෂණ කරමින් සිටින බව පැවසීය.

ගැඹුරු වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇතුළු දේශීය දැනුම් සම්භාරයක් පුස්කොළ පොත්වල අන්තර්ගත වන බැවින් සාම්ප්‍රදායික පර්යේෂණ මාතෘකා වලින් මිදී උසස් පර්යේෂණ සිදු කිරීම සඳහා පුස්කොළ පොත් පර්යේෂණ හා සංරක්ෂණ පුස්තකාලය භාවිත කළ හැකි බව එතුමා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා, සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, ලේඛකාධිකාරී ඩබ්.එම් කරුණානන්ද මහතා, සමාජීය විද්‍යා පීඨයේ සහකාර ලේඛකාධිකාරි ඩී.පී තරංගනි මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපතිවරුන් වන මහාචාර්ය ආර්.එච්.ආර් ගුණවර්ධන මහතා, මහාචාර්ය යූ.බී. කරුණානන්ද මහතා, මහාචාර්ය කේ.එම්.ඩී ගුණසේකර මහතා, පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය උදා හෙට්ටිගේ මැතිණිය, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය නිශාන් සකලසූරිය මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාර්ථීන් පිරිසක් සහභාගී වූහ.

දිනුෂිකා ආරියරත්න

 

 

Related posts

Leave a Comment