web analytics
You are here
comman කාලීන 

බක් මහේ වගතුග

අප්‍රේල් මාසය හෙවක් බක් මාසය යනු සෞභාග්‍යයේ මාසයයි. එය ශ්‍රී ලංකාවාසී සියලු ජනයාගේ සතුට හා ප්‍රීතිය ගොඩනැගෙන සමයයි. කෘෂිකර්මාන්තය මුල් කරගෙන දිවි ගෙවන ගොවියෝ මහ කන්නයේ අස්වනු කපා, පාගා, ගෙට ගෙන යළි කුඹුරු වැපිරීම ආරම්භ කරන්නේ මේ කාලයේදීය. පරිසරය ගහකොළ, මල් ඵලවලින් බර වන්නේද, සිවුපා සතුන් හා විහඟුන් ඵල රස අරා බොමින් ප්‍රීති වන්නේද මේ සමයේදීය. කලක් නිහඬව සිටි කොවුලෝ අවුරුදු ප්‍රීතිය හඬ නගා පරිසරය පුරාවටම සන්නිවේදනය කරමින් අව්‍යාජ කෘෂි ජනතාව සමඟින් එක්ව බක් මස අස්වනු ලැබීමේ ප්‍රීතිය භුක්ති විඳීමට මුලපුරති. ඒ සමඟින් ලංකාවාසීහු නව අවුරුදු චාරිත්‍රවලට ද ඉඩහසර ලබා ගනිති.

බක් මාසයේ යෙදෙන සුවිශේෂී සංස්කෘතිකාංගය වන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දයි. ලෝකවාසී බෞද්ධයන්ට වෙසක් පුන් පොහෝදා කෙතරම් වැදගත් ද එසේම ලාජකික ජනතාවට සිංහල අවුරුද්ද අතිශයින් වැදගත් වේ. සිංහල අවුරුද්දේ ඇතිවන මානසික ප්‍රබෝධයෙන් මිනිස් සිතුම් පැතුම් තුළ ජීවමය ගුණයක්, ශක්තියක් ඇති කරයි. හින්දු සංස්කෘතියෙන් සූර්ය වන්දනය මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම චාරිත්‍රය අනාදිමත් කාලයක් මුළුල්ලේ සිංහල සංස්කෘතියේ මුල් බැස පවතී. බුදු දහමේ ආභාසයෙන් එය සිංහල බෞද්ධ හා හින්දු අවුරුද්ද බවට පත්ව ඇත.

බක් මාසය නොහොත් අප්‍රේල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයකි. බක් මාසයේ යෙදෙන තවත් සුවිශේෂී දිනයක් වන්නේ බක් පුන් පොහෝ දිනයයි. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමිනි. මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුයේ බක් පොහෝ දවසකය. චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවත් අරභයා ආරවුලක් ඇති විය. මේ ආරවුල බුදුන් වහන්සේ දිවැසින් දුටු සේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ බක් මස පසළොස්වක දා අළුයම සෘද්ධියෙන් නාගදීපයට වැඩි සේක. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනේ දී බණ අසා සිල් පිහිටා සිටි මණිඅක්ඛිත නා රජු එදින බුදුන් වහන්සේට තමාගේ වාසභවන වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළේය. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පෝය ප්‍රීති උපදවන දිනයකි.

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන්ගේ ගැලවුම්කාරයාණන් වූ ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදූ මහ සිකුරාදා දිනය යෙදී ඇත්තේ ද බක් මාසයේය. මහ සිකුරාදා දින සෑම කිතුනු දෙව් මැදුරකම දුක්ප්‍රාප්ති දේව මෙහෙයක් පැවැත්වේ.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment