web analytics
You are here
comman ගවේෂණ 

නුහුරු දේශයක නොසිතූ හමුවීම

ස්වර්ණභූමි ගුවන් තොටුපලට ගොඩ බෑම සඳහා සංඥා ලැබෙන තුරු තායිලන්ත ගුවනේ රවුමක් කැරකැවුනු අප ගමන් ගත් ගුවන් යානය අවසානයේ ගුවන් තොටුපලට ගොඩ බසින විට දහවල් 12 පමණ විය.

මාත් මගේ යෙහෙළියත් ගමන් මළුත් රැගෙන ගුවන් තොටුපළේ විමසීම් කවුළුවක් අසල නතර වුයේ අප ගමනාන්තය වූ ‘පටායා’ නගරය බලා ගමන් ගන්නා බස් රථ නවත්වන ස්ථානය දැන ගැනීමටයි. අපට ලැබුනු උපදෙස් අනුව ගුවන් තොටුපලේ බිම් මහල වෙත ගිය අපට ටිකට් පත් මිල දී ගන්නා ස්ථානය පහසුවෙන් සොයාගත හැකිවිය. ටිකට් පත් දෙකක් මිළ දී ගත් අප දෙදෙනාට ඊළඟ බස් රථය පැමිණෙන තුරු පැය දෙකක පමණ කාලයක් බලා සිටීමට සිදුවිය. ගුවන් තොටුපළේ අවන්හලකින් දිවා ආහාරය ලබාගත් අප දෙදෙනා බස් රථය පැමිණෙන තුරු නැවැතුම් මැදිරියේ රැදී සිටියෙමු.

වාඩි වී සිටි අප දෙදෙනා අතර වැඩි කථා බහක් නොවූයේ ඒ වන විටත් අප මදක් වෙහෙසට පත් ව සිටි නිසාවෙනි. බිම බලාගෙන කල්පනාවෙ නියැලි සිටි මා හට එකවර ම අප ඉදිරියේ කිසියම් කෙනෙකු සිටගෙන සිටින බවක් පසක් වුනි. හිස ඔසවා බැලූ විට අප දෙදෙනා ඉදිරිපිට සිනාමුසු මුහුණකින් යුක්තව දේහදාරී පුද්ගලයකු සිටගෙන සිටින බව දිස් වුනි. පෙනුමෙන් ඔහු දකුණු ආසියාතිකයකු බව වැටහුනෙමි. එකවර ම ඔහු අප දෙදෙනා සමඟ ඉංග්‍රිසි භාෂාවෙන් කථා කිරීමට පටන් ගත්තේ ය.

‘ඔයාලා ආවෙ ඉන්දියාවෙන් ද?’

‘නැහැ’

‘එහෙනම් ලංකාවෙන් ද?’

අප දෙදෙනා මුහුණට මුහුණ බලා නැවත ඔහු දෙස බැලුවෙමු. මගේ යෙහෙළිය සැකයෙන් යුතුව පිළිතුරු දුන්නා ය.

‘ඔව්. ඇයි?’

‘එහෙමද? හමුවීම සතුටක්’ යැයි පැවසූ ඔහු අප අසලින් අසුන් ගත්තේ ය. ඉන් පසු තමාව හදුන්වා දුන් ඔහු තමා ඉන්දියානුවකු බවත් රැකියාවෙන් නිවාඩුවක් ගෙන රටවල්වල සංචාරය කරමින් සිටින බවත් පවසා සිටියේ ය.

‘තායිලන්තයට එන්න කලින් මං ගියෙ ලංකාවට’

මෙය ඇසූ මා තුළ චකිතයක් ඇති විය. මන් ද ඉන්දියානුවන් තුළ අප රට කෙරෙහි පවතින ආන්දෝලනාත්මක මතවාද නිසාවෙනි.

‘එහෙමද? කොහොමද අපේ රට?’ එවිට මාගේ යෙහෙළිය ප්‍රශ්න කළා ය.

‘නියමයි! ඔයාලගෙ රට හරිම ලස්සනයි. මම ගියා නුවරඑළියට. ගාල්ලටත් ගියා. එ් වුනාට වැඩියෙන් ආස වුනෙ නුවරඑළියට. හරිම ලස්සන පළාත.’ යැයි පැවසූ ඉන්දියානුවා අප රට වර්ණනා කිරීමට පටන් ගත්තේ ය. ඔහුගෙ පිළිතුර අප දෙදෙනාම බලාපොරොත්තු නොවූ ළිතුරක් විය.

‘අවස්ථාවක් ලැබුණොත් මම ඔයාලගෙ රට බලන්න ආයි එනවා.’ ඒ ඉන්දියානුවෙකු මගේ රට වර්ණනා කරනු පෞද්ගලිකව ඇසූ ප්‍රථම වතාවයි.

‘ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලස්සන ද?’ මා විහිළුවට මෙන් ප්‍රශ්න කළෙමි.

‘ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි බොහොම සමානයි. දෙකෙන් මොන රට ද ලස්සන කියලා කියන්න බැහැ නේද?’ එලෙස ඉන්දියානුවා ප්‍රශ්නාර්ථයකින් ඊට පිළිතුරු දුන්නේ ය. මොහු අප රට වර්ණනා කරන ආඩම්බරකාර ඉන්දියානුවකු බව මා ඉන් වටහාගත්තෙමි.

ඉන් පසු අප තායිලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථාන පිළිබඳ විමසා ඔහු තායිලන්තයෙ ලද අත්දැකීම් අප හා බෙදාහදා ගත්තේ ය. බැංකොක් නගරයෙ පොදු ප්‍රවාහන පහසුකම් පිළිබද තොරතුරු අඩංගු පත්‍රිකාවක් ද අප දෙදෙනාට ලබා දුන්නෙ ය. එලෙස සුහද පිලිසදරක යෙදුනු ඉන්දියානුවා අපගෙන් සමුගෙන ඊළඟ ගමනාන්තය බලා යාම සඳහා ගුවන් තොටුපලට ඇතුළු විය.

ඔහු යන ගමන් මඟ බලා සිටි මා හට මගෙ රට ගැන ආඩම්බරයක් දැනුන ද ලැජ්ජාවක් ද ඇති විය. මන් ද ඔහු මෙන් මා අප රට අගය කරන්නෙ දැයි සිතුන නිසාවෙනි. අපට වඩා අප රටට ආදරය කරන, ආදරය කළ විදේශිකයන් ගැන ඕනෑ තරම් අසා ඇත. අපට හමු වූ ඒ ඉන්දියානුවා ද එවැනි විදේශිකයකු විය හැකි ය. එවැනි විදේශිකයන් මෙන් මෙරට බොහෝ ලාංකිකයින් රටට ආදරය නොකරන්නෙ මන්ද?. මෙවන් සිතුවිලි මා සිත තුළ රැව්පිලි දුනි.

නුහුරු දේශයක නොසිතූ හමුවීම එලෙස අවසන් විය.

 

දසිනි මදුරසිංහ

 

Related posts

Leave a Comment