web analytics
comman තෙවැනි ඇස 

කෙදින හෝ අපි මහලු වියට පත් වන්නෙමු.

දැඩි හිරු රශ්මියෙන් රත් වූ පිටකොටුවෙ පැයක් පමණ ගත කළ මා නැවත නිවස බලා යාමට බස් රථයට ගොඩ වූයේ දැඩි වෙහෙසට පත් ව ය. හිස් අසුනක වාඩි වූ මා ගිමන් හැරියෙමි. ටික වෙලාවකින් ආසන සියල්ල මගීන්ගෙන් පිරුණි. බස් රියදුරු බස් රථය පණ ගන්වා බස් රථය ධාවනය අරම්භ කළේ ය. පිටකොටුවේ බෝ ගහ අසළ බස් නැවතුම් පොළෙන් බස් රථයට මගීන් කීප දෙනෙකු ගොඩ වූ අතර එ් ඒ අතර වියපත් කාන්තාවක් ද වූවා ය. ඇය දුටු විට ම මට මාගෙ මිත්තණිය සිහි විය. ඇය ඉදිරියට ඇදෙන බස් රථය තුළ නොවැටී සිටීමට මහත් පරිශ්‍රමයක් දරමින් වටපිට බැලුවෙ ඉදගැනීමට අසුනක් ඇද්දැයි විපරම් කරමින් ය. මට ඉදිරි පසින් අාසන පේළී දහයක් පමණ තිබුන ද ඒ අසුන්වල සිටි කිසිවකු ඇය දෙස හැරීවත් නොබැලූහ.

“ආච්චි අම්මෙ, එන්න මෙතැනින් ඉදගන්න”

මම  නොසිතා ම ඇයට අසුන පිළිගැන්වුයෙමි. වියපත් කාන්තාව ස්තූති පූර්වක ව සිනා සී මා පිළිගැන් වූ අසුනෙන් ඉදගත්තෙමි. මම ඇය අසලින් සිට ගත්තෙමි. බස් රථය ඉදිරියට ධාවනය වූ අතර තවත් මගීහු බස් රථයට ගොඩ වූහ. මරදාන පංචිකාවත්ත බස් නැවතුම්පළ පසු වූ විට පිටුපසින් කෙනෙකු මාගෙ අතට තට්ටු කළේය. මම හැරී බැලුවෙමි.

“මම ඉස්සරහින් බහිනවා. දුව මෙතනින් ඉදගන්න”

එලෙස පවසා සිය අසුනෙන් නැගී සිටියෙ වියපත් පිරිමි කෙනෙකි. සීයා කෙනෙකි. ඔහුට ස්තූති කර මමඅසුන ගත්තෙමි. ඒ සමග ම වාගෙ මා අසුන පිරි නැමූ ආච්චි අම්මා අසළ වාඩි වී සිටි පුද්ගලයා ද නැගිට ගියේය. ආච්චි අම්මා පිටුපස හැරී මා කොහි දැයි බැලුවා ය. මා ද අසුන් ගෙන සිටින බව දුටු ඇය නැවත ස්තූති පූර්වක බැල්මක් හෙළුවාය. මම ද ඈ හා පෙරලා සිනාසුනෙමි.

විඩාවට පත් ව සිටි මා හට නැවත අසුනක් ලැබීම මා තුළ සතුටක් ඇති කලා යැයි කිව නොහැක. මා තුළ ඇති වුයෙ ලැජ්ජාවකි. එම බස් රථයෙ මා වැනි ම තරුණ තරුණියෝ රැසක් අසුන් ගෙන සිටියෝය. ඔවුන් සියලු දෙනා තම තමන්ගෙ ලෝකවලය. බොහෝ දෙනෙක් ජංගම දුරකථනයෙන් සිංදු අසමින් ද, ක්‍රීඩා කරමින් ද සිටියෝය. වියපත් කෙනෙකුට හෝ අසනීප කෙනෙකුට හෝ හදිස්සි අවස්ථාවක අසුනක් පිරි නැමීමට හෝ ඔවුන් පියවි ලෝකයේ ජිවත් නොවන්නෝ බව මට එදින වැටහුණෙමි. බස් රථය තුළ සිදු වු මෙම සිදුවීම මා තුළ මෙවන් සිතුවිලි ඇති කෙරිණි. තමන් ද කෙදිනක හෝ අර සීයා හා ආච්චි අම්මා මෙන් වියපත් වන බව තරුණ තරුණියන්ට නොවැටහෙන්නෙ මන් ද? ඔවුන් සියල්ලෝ ම ජිවත් වන්නෙ ඔවුන් අමරණිය ජිවිත ගත කරන්නෝ ලෙසින් නොවෙද? නමුත් යථාර්ථය නම් අප සියල්ලෝ ම වියපත් භාවයට පත් වෙමින් සිටින බවත් අද හෙට ම මිය යා හැකි බවත් ය. එය අප විසින් ම වටහා ගත යුතු නිතර මතකයේ තබා ගත යුතු යථාර්ථයකි.

 

දසිනි මදුරසිංහ

Related posts

Leave a Comment