web analytics
You are here
comman කාලීන 

මැයි දිනයේ අද කතාව

කම්කරු ජනතාව මැයි පළමුදා ඉතා උත්කර්ෂවත් අන්දමින් මැයි දිනය සමරනු ලැබේ. මැයි දිනය හෙවත් වැඩ කරන ජනතාවගේ දිනය ලෙස ද මෙය හඳුන්වයි. අද කම්කරුවන් වරප්‍රසාද විඳින්නේ අතීතයේ කම්කරුවන් හෙලූ ලේ දහඩිය කඳුළු වගුරුවමින් දිවි පරදුවට තබා අත් කර දුන් ජයග්‍රහණ නිසාවෙනි. ලෝක කම්කරු දිනයට වසර ගණනාවකට පෙර ලංකාවේ එය ආරම්භ කරන ලදී. ලොව  බොහෝ රටවල  කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. 1890 දී ඇමරිකාවේ චිලී රටේ හා කියුබාවේත් විශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පළමුවරට ලෝකයේ මැයි දිනය සමරනු ලැබේ. පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටියදි පොලිස් වෙඩි පහරින් මිය ගිය කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරක් පාසාම මැයි පළමුදා ලෝක කම්කරු දිනය වශයෙන් සැමරීම සිදු කරයි.

මෙලෙස ඉතිහාසයට එක් වූ මැයි දිනය අද ලොව පුරා කිසිදු භේදයකින් තොරව සියලු කම්කරු ප්‍රජාව විසින් සමරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට මැයි දිනය සැමරුවේ 1933 දී කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පක්ෂ භේද පාට භේදවලින් තොර වූ උත්කර්ෂවත් සැමරුමක් විය. ලංකාවේ මැයි දින පෙළපාලි දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් ආරම්භ වූයේ 1935 දී ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ මෙහෙයවීමෙනි. එනම්, 1935 දී ප්‍රථම වරට සියලුම වාමාංශිකයන් එක් වී ගෝල්පේස් පිටියේ දැවැන්ත මැයි දින පෙළපාලියක් පැවැත් විය. ඉන්පසු ස්වාධීනව තිබූ මැයි රැළි දේශපාලන ස්වරූපය ගත් නිසාම ඒවා දේශපාලන වේදිකා හා සැණකෙළි බවට පත් විය. ඒත් සමඟම අද වන විට මැයි රැළිය දේශපාලන පොරොන්දු හා ජනතා වරප්‍රසාද ප්‍රකාශයට පත් කරන තැනක් බවට පත් වී තිබේ. අද දේශපාලන පක්ෂ තම සුඛ විහරණය උදෙසා කම්කරුවන් වෙනුවෙන් වෙන්වුන දිනයත් ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙම දේශපාලන පක්ෂ බස්වලින් මිනිසුන් ගෙන්වා මැයි දින රැළියේ දී තම බලය පෙන්වීමට උත්සහ දරයි. මෙම පාලකයන්ට ජනතාව අවශ්‍ය වන්නේ මෙලෙස සෙනග අවශ්‍ය වූ විට පමණි. එසේ නොමැතිව මොවුන් මෙසේ පෙළගැසී ගෝරනාඩු කරන්නේ කම්කරුවා ආරක්ෂා කිරීමටවත්, ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටවත් නොව. සිය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය උදෙසාය. සෙනග ගෙන්නා තම බලපුළුවන්කාරකම පෙන්නන මේ රටේ පාලකයින් මැයි දිනය දාට පමණක් කම්කරුවා යන වචනය කියන්නට තතනයි. ඔවුන්ගේ ප්‍රශ්න සැලකිල්ලට නොගන්නා පාලකයෝ පීඩිත ජනතාවගේ දිනයේ දී ත් ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට පොරබදයි. කර්මාන්ත ශාලාවල මහ පාරවල්වල දුක් විඳින ජනතාව ගැන මොවුන්ට දශමයක්වත් දුකක් නැත. ගැහැනු පිරිමි කිසිදු භේදයකින් තොරව උදේ සිට රැය පහන් වන තෙක් එක සේ දහඩිය කඳුළු වගුරුවා උපයන මුදල් පාලකයන්ගේ සැප සඳහය. රැය පහන් වන තුරු මැෂිම පාගන තරුණියෝ ඔවුන්ගේ අනාගතය සරිකරන්නට වෙරදරයි. මහන්සිය, දුක නොබලා වැඩ කරයි. නමුත් කම්කරුවන් වෙනුවෙන් තවමත් පාලක පන්තියේ අවධානය යොමු වී නැත. වර්තමානයේ මැයි දිනය කම්කරුවන්ගේ ද එසේ නැත්නම් පක්ෂ දේශපාලනයේ ද යන්න විශාල ගැටලුවකි.

 

ගයානි රණතුංග

 

Related posts

Leave a Comment