web analytics
You are here
comman ගවේෂණ 

වෙසක් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පස්වන මාසය වන මැයි මාසය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ වෙසක් මස යනුවෙනි. වෙසක් මස ඇති සුවිශේෂීත්වය වන්නේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත් වීම හා පිරිණිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය මෙම මාසයේ සිදුවීමයි. එසේම ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව සිටියදී දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේද වෙසක් පොහොය දිනයකදී ය. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩමකොට කැලණිය ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝදාය. සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශ්‍රී පාද ලාංජනය පිහිටුවීම, සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවයෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පොහෝදාය. සිංහල ජන වංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට වැඩම කළේද වෙසක් පොහෝ දිනයක බව වංශ කථාවල සඳහන් වේ. දේවානම්පියතිස්ස රජු දෙවැනි වරට රාජාභිශේක ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි සෑයට මුල්ගල් තැබීමද සිදු වූයේ ද උතුම් වෙසක් පුර පසළොස්වක දිනයකදී ය.

මැයි මාසයේ යෙදෙන කම්කරු දිනය ලෝකවාසී සියළු ජනයාට සුවිශේෂී දිනයකි. සෑම වර්ෂයකම මැයි පළමු වැනිදා ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. ශතවර්සයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකයට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි. පැය 08 ක සේවා මුරයක් වෙනුවෙන් කම්කරුවන් පිරිසක් සිදුකළ ඓතිහාසික අරගලය සිහිපත් කෙරෙන ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්සයේ දී ඇමරිකාවේ චිකාගෝ නගරයේදීය.1886 මැයි මස ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමනට පැය 08 ක සේවා මුරයක් ලබාදෙන ලෙස බලකරමින් විරෝධතාවක නිරත වුණු අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලීසිය ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර පිරිසක් අත්අඩගුවට පත්වුණි. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එතැන් සිට මේ දක්වා සෑම වසරකම ලොව සෑම රාජ්‍යයකම පාහේ කම්කරු දිනය සැමරෙයි.

මැයි මාසයේ යෙදෙන තවත් සුවිශේෂී දිනයක් වන්නේ මැයි මස 03 වන දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි. 1993 දී රැස් වූ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී මැයි මස 03 වන දින ලෝක ජනමාධ්‍ය දිනය ලෙස නම් කරන ලදී. ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම් මත පදනම්ව ලෝක ජනමාධ්‍ය නිදහස මැන බැලීම සහ වෘත්තීය කටයුතු අතරතුරදී ජීවිතයෙන් සමුගත් ජනමාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණයි.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment