web analytics
comman කාලීන 

ජාත්‍යන්තර කම්කරු දිනය

මැයි පළමුවැනිදා එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි.මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලමිනි. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය.මේ අතරතුර පොලිස් ඔත්තුකරුවෙකු එල්ල කළ බෝම්බයකට හසුව පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වූහ. මෙයින් පසු පොලීසියේ තුවක්කුද නැවත ජනතාවට එල්ල විය. එයින් කීප දෙනෙකු මරණයට පත් වූ අතර එහි සිටි ජනයාගෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ.මෙම සිද්ධියෙන් ප‍්‍රයෝජන ගත් චිකාගෝ පොලීසිය කම්කරු නායකයින්ට දඬුවම් දීමට යොදා ගත්හ. මෙයින් කම්කරු නායකයින් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවිය.

චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එදා එහි සිටි පොලිසිය අනුමත කළත් ලොව කිසිඳු ජන වර්‍ගයක් අනුමත කළේ නැත. ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරීය.පැය 08 ක වැඩ මුරයක් හා සර්වජන ඡන්ද බලයක් ලබා ගැනීම සඳහා මුළුමහත් කම්කරු ජනතාවම එක්සත්ව සටන් කළහ.ඒ අනුව 1889 ජුනි මාසයේ පැරිස් නුවරදී “ පෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ “ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී චිකාගෝ නුවර හේමාකට් චතුරස‍්‍රයේදී ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවැනි දාට යොදා ගත්තේය. නමුත් ප‍්‍රථම වරට මැයි දිනය සමරන ලද්දේ 1890 දීය. ප‍්‍රංශ නියෝජිත “ ලැව්ටනි “ විසින් කම්කරුවන් එක්සත්ව කි‍්‍රයාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව සම්මත කළේය. මැයි දිනය ආරම්භ වූයේ එපරිද්දෙනි.  ශ්‍රී ලංකාවේ මැයි දින  ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම් විය. සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් විය. පසුකාලය වන විට මෙය මැයි පෙළපාලියක් බවට පත් වූ අතර එය කී‍්‍රඩා තරග හා සම්මත රැළියක් බවට පත්විය. 1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න විය. එහිදී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එයින් ගෙදර ගිය බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ. 1956 දී අගමැති බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී.ල.නි. පක්ෂය හා පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය රතුපාටින් හා නිල් පාටින් පැවැත්විය. එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායක මහතා ගේ ආණ්ඩුවෙනි.

මෙලෙස 1890 සිට සැමරීම සිදු කරනු ලබන්නා වූ ලෝක කම්කරු දිනය වර්තමාන වන විට වෙනසකට ලක්ව ඇති බව පැහැදිලිව දැක ගත හැකිය. නමුත් වර්තමානයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි තුළින් සැබෑවටම වැඩ කරන ජනතාවගේ පිළිබිඹුවක්ද විද්‍යමමාන නොවේ. පක්ෂවලට බෙදී තම පක්ෂවල බලය පෙන්වීමට පක්ෂ සාමාජිකයින් ආහාරපානත් ප‍්‍රවාහන පහසුකමුත් ලබා දෙන තත්ත්වයක් වර්තමාන මැයිදින පෙළපාලි අශ‍්‍රිතව දැකිය හැකිය. නමුත් සැබෑවටම වැඩ කරන ජනතාව ලෝක කම්කරු දිනයේද ඒ අයුරින්ම   ශ‍්‍රමය වගුරුවන ආකාරය සමාජය දෙස විමසිල්ලෙන් බැලූවිට පසක් වේ. මේ අනුව පක්ෂ අශ‍්‍රිතව පෙළගැසී ඇති මැයිදින රැුළිවල රැුදී සිටින්නේ සැබෑ වැඩකරන ජනතාවද යන්න වටහා ගැනීම ඔබ සතුය.

බුද්ධික කරුණාරත්න

Related posts

Leave a Comment