web analytics
comman සංවාද 

‘‘තමන් ලද නිදහස වගකීමකින් තොරව, සමාජයේ ආරවුල් හා ගැටලු ඇති වන අයුරින් භුක්ති විදිනවා නම් එය අගය කළ නොහැකියි. ’’ – මහාචාර්ය මාපා තිලකරත්න. අංශාධිපති, ජන සන්නිවේදන අධ්‍යයන අංශය

 

‘මාධ්‍ය නිදහස’ යන්න සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයේ ම  සාකච්ඡාවට බඳුන්වන්නා වූ කාලීන ප්‍රස්තුතයකි. මැයි මස 03 දිනට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය දිනය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර් මාපා තිලකරත්න මහතා සමඟ පැවැත්වූ සංවාදය මෙසේ සටහන් කරමු.

ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම පිළිබඳ ඔබතුමාගේ  අදහස කුමක්ද?

ජාතික වශයෙන් මාධ්‍ය නිදහස සැමරීම දිනයකට සීමා කරගැනීම කියන කාරණය බලනකොට ලෝකයේ බොහෝ රටවල ඊට විශේෂිතව සහ ජාත්‍යන්තරව සමහර කාරණා සම්බන්ධව දින වෙන්කරලා තියෙනවා. ජනමාධ්‍ය නිදහස කියන කාරණය පිළිබඳව දිනයක් වෙන්කිරීම විවිධ හේතූන් මත සිදුවූවත් මම හිතන්නෙ ජනමාධ්‍ය නිදහස දිනයකට සීමා නොවී ඕනෑම රටක ක්‍රමාණුකූලව විද්‍යාත්මක පදනමක් යටතේ දිගින් දිගටම, සෑම දිනයකම ක්‍රියාත්මක වෙන්න ඕන. විශේෂයෙන් ම නිදහස පිළිබඳව කතා කරනකොට ජනමාධ්‍ය නිදහස, ප්‍රකාශන නිදහස වගේ වචන පාවිච්චි කරනවා. නිදහස එක්කම එන අනෙක් වචනය තමයි නිදහස භුක්ති විදීම. නිදහස භුක්ති විදීම එක්ක එන අනෙක්  කාරණය තමයි වගකීම. නිදහස භුක්ති විදීම සිදුවිය යුත්තේ ඉතාමත්ම නිවැරදි වගකීමක් එක්ක. වගකීමක් ගන්න බැරිනම් නිදහසක් භුක්ති විදීමට ඉඩදිය යුතු නැහැ කියන එකයි මගේ අදහස. නිදහස භුක්තිවිදීම සහ වගකීම කියන කාරණා එක්ක ඒක නිවැරදිව භාර අරගෙන භාවිතයට ගැනීම තමයි විය යුත්තේ. දිනයකට සීමාවීම නොවීම කෙසේ වෙතත් ජනමාධ්‍ය නිදහස ඕනෑම රටකට තියෙන්න ඕන. නිදහස තියෙන්න ඕන නමුත් ඒ නිදහස භුක්තිවිදින අය ඒක වගකීමෙන් භුක්ති විදිනවා නම් විතරයි. තමන් ලද නිදහස වගකීමකින් තොරව සමාජයේ ආරවුල් හා ගැටලු ඇති වන අයුරින් භුක්ති විදිනවා නම් එය අගය කළ නොහැකියි.

මෙවර ජනමාධ්‍ය දිනය වෙනුවෙන් තේමා කරගත් ජනමාධ්‍ය නියාමනය හා මාධ්‍ය නිදහස පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක් ද?

ජනමාධ්‍ය නියාමනය පිළිබඳ අපේ රටවල තාමත් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ.  මොකද කලින් කලට ඒ ඒ මාධ්‍ය ක්ෂේත්‍රවලට අදාළව යම් යම් නියාමනයන් ගොඩනැගුනත් තවමත් නිවැරදි පදනමක් යටතේ  නියාමනයක් ගොඩනැගීමක් සිදුවෙලා නෑ කියන එකයි මගේ අදහස. සමහර විට යම් යම් මාධ්‍ය සන්දේශ සම්බන්ධව ගත්තහම ඒ ඒ සන්දේශ තුළින් සිදුවන සමාජ බලපෑම අහිතකර යි. ක්‍රමවත් ජනමාධ්‍ය නියාමනයක් තිබුණා නම් එවැනි දෙයක් සිදුවෙන්න හේතුවක් නැ. ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් ගත්තහම විශේෂයෙන්ම ආසියානු කලාපයේ ,සාක් කලාපීය රටවල තත්ත්වය දිහා බැලුවම අපේ රට එක්තරා මට්ටමක ඉහලින් ඉන්නවා. ඒ කෙසේ වෙතත් අපි හිතනවා බංගලාදේශය වැනි රටක් අපිට වඩා ජනමාධ්‍ය අතින් පහළ මට්ටමක ඇති කියලා. නමුත් ඒක සිහිනයක් විතරයි. බංගලාදේශය වගේ රටක් පිළිබඳව හදාරන විට අපට පේනවා අපට වඩා විශාල ජනමාධ්‍ය සංඛ්‍යාවක්  පවතිනවා වගේම ඔවුන් තුළ  කිසියම් ආකාරයක නියාමනයකුත් තිබෙන බව. කෙසේ නමුත් මට දැනෙන විදියට අපේ රටේ  විද්‍යාත්මකව හසුරවන, පිළිගැනීමට ලක්වන නියාමනයක් නෑ.

 

මාධ්‍ය නිදහස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත්  සංවාදශීලී මාතෘකාවක් ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

මාධ්‍ය නිදහස බොහෝ දෙනෙක්ගේ යම් යම් සංවාද , සාකච්ඡා, සම්මන්ත්‍රණ වගේ දේවල්වල  විලාසිතාවක් විදිහට සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක් . මාධ්‍ය නිදහස පිළිබඳව කතා කරන සමහර අයත් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නෙ නැහැ. ඔවුන් මාධ්‍ය නිදහස සීමා කරනවා. ඒ වගේම මාධ්‍ය නිදහස අපිට අවශ්‍යයි කියලා සාකච්ඡා කරන, කෑගහන මාධ්‍යවේදීනුත් ඇතැම්  විට ඒ මාධ්‍ය නිදහස නිවැරදිව භුක්ති විදින්නෙ නැ. ඔවුන් සමහර විට බරපතල විදිහට යම් යම් සමාජ උද්ඝෝෂණ, සමාජය තුළ විවිධ අවධි කිරීම් හොඳ අතට නොව නරක අතට සිදුවන ආකාරයට  වාර්තාකරණය  යෙදෙනවා.මට දැනෙන විදිහට නම්  සාකච්ඡාවකදී බොහොම ලස්සන වචනයක් විදියට  මාධ්‍ය නිදහස භාවිතයට ගත්තත් ප්‍රායෝගිකව මෙය  හඳුනාගෙනත් නෑ. විද්‍යාත්මක භාවිතයකුත්  නෑ .

 

තොරතුරු සමාජ ගතවීමේ ක්‍රමික වර්ධනයත් සමඟ මාධ්‍ය නිදහසට වර්තමානයේ හිමිව ඇති තත්ත්වය පිළිබඳ අදහස කුමක්ද?

තොරතුරු සමාජ ගතවීම බරපතල කාරණයක්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් තොරතුරු  සමාජ ගතවීම සඳහා අවශ්‍ය ඉඩකඩ තියෙනවා. ඒ හා සමඟාමීව ලෝකයේ සෑම රටකම වාර්තාකරණයන් හී පිළිගත් වාරණ සම්ප්‍රදායන් තිබෙනවා. වාරණයන්ට හසු නොවන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම ඒ කියන්නේ වාරණය වන තොරතුරු ඉදිරිපත් නොකොට වාරණය නොවන වඩාත් සමාජයට වැදගත් යැයි කියන තොරතුරු ඉදිරිපත්  කිරීම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු විය යුතුයි. දැනට පවතින තත්ත්වය අනුව තොරතුරු සමාජ ගතවීම පිළිබඳ බරපතලව බාධාවක් ඇති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. සමාජ  ගත කරන තොරතුරු වල නිවැරදි භාවය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශ්වාසයක්  තියෙන්න ඕනෙ. වගකීමක් තියෙන්න ඕනෙ. ඒ වගේම තොරතුරු ඉදිරිපත් කිරීම් තුළ පරස්පරතා අවම විය යුතුයි. පරස්පරතාවක් සහිතව තොරතුරු සමාජගත වීම, වාර්තා කිරීම කියන එකත් මම හිතන්නෙ හරි අවාසනාවන්ත දෙයක්.  බොහෝ නිවැරදි තොරතුරු අසත්‍ය තොරතුරු ලෙස වාර්තා වෙනවා වගේම බොහෝ අසත්‍ය තොරතුරු සත්‍ය විදිහට වාර්තා වෙන්න පුළුවන්. මම හිතන්නෙ අපිට  පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍යයි තොරතුරු සමාජ ගතවීම පිළිබඳව, මාධ්‍ය නිදහස පිළිබඳව, ප්‍රකාශන නිදහස පිළිබඳව, ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳව.

පත්‍ර කලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස් වෙනවා ලංකාවේ ප්‍රකාශන නිදහස පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ?

ලංකාවේ ප්‍රකාශන නිදහස  පිළිබඳ බරපතල ගැටලු මේ යුගයේ දක්නට  ලැබෙන්නෙ නෑ.ප්‍රකාශන නිදහස තියනවා. ඒ වගේම ඕනෑම රටක, ඕනෑම සමාජ ක්‍රමයක වාරණය කියන කාරණය ගත්තහම වාරණය  විය යුතු තොරතුරු තිබෙනවා. ඒවා ඇත්තටම ඒ රටේ සුබ සාධනයට අවශ්‍යය යි. යුධ තොරතුරු වාරණය කිරීම කියන එක අවශ්‍යයම දෙයක්. යුද්ධයක් කරන්න පෙර යුධ තොරතුරු හෙළිදරව් කිරීම තුළ  ඒ සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. මෙවන් සමාජ අවශ්‍යතාවයන් නිසාවෙන්ම යුධ තොරතුරු වාරණය වගේම ,ආගමික වාරණය, තැපැල් වාරණය වශයෙන් වාරණ සමූහයක් අද වනවිට ක්‍රියාත්මක වෙනවා. ජනමාධ්‍ය මගින් සමහර තොරතුරු සමාජ ගතවීම තුළ සමාජය අවිනිශ්චිත තත්ත්වයට පත්වන ප්‍රවණතාවය වගේම වර්ථමානයේ මාධ්‍ය නිදහස ජනමාධ්‍යකරුවාට සීමාවෙලා තියෙනවා යැයි කිම ද අපහසුයි.නමුත් ජනමාධ්‍ය නිදහස කියන්නෙ මොකක්ද , එය භුක්තිවිදිය යුත්තේ කෙසේද , මාධ්‍යවේදීන් නිවැරදිව තොරතුරු වාර්ථා කළයුත්තේ කෙසේ ද කියන කාරණය පිළිබඳව පැහැදිලි චිත්‍රයක්  අපේ ජනමාධ්‍ය ව්‍යූහයට තිබිය යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

 

 

මාධ්‍ය නිදහස සැමරීමට සූදානම් වන මෙවන් මොහොතක සමස්ත සමාජයටම ඔබතුමාට දිය හැකි උපදේශය කුමක් ද?

අපේ රට ගත්තාම මට දැනෙන  තවත් කාරණයක් තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියන එක. ඒ පිළිබඳව  ගැටලු තියනවා .විශේෂයෙන්ම සාක් කලාපීය රටවල ලංකාව තරමක්  ඉහළ  මට්ටමක තිබුණත් අනෙක් රටවල් හා සැසදුවාම අපේ සාක්ෂරතාව පිළිබඳව අවබෝධය අඩුයි. මාධ්‍ය සන්දේශයක්  හරිහැටි තේරුම් ගැනීමේ හැකියාව  මාධ්‍ය සාක්ෂරතාව කියලා මුල් කාලීනව අපි අදහස් කළත් වර්තමානයේ ඒ විෂය පමණකි මෙය. ඉන් ඔබ්බට කිසියම් සන්දේශයක් තේරුම් ගැනීමේ හැකියාව පමණක් නොව, යම් යම් සන්දේශවල බලපෑම, ඒ ඒ රටවල මාධ්‍ය ව්‍යූහය, මාධ්‍ය ප්‍රතිපත්ති, ඒ ඒ  මාධ්‍ය ප්‍රතිපත්තිවල සමවිෂමතා,  ආචාර ධර්ම වගේම ඔවුන් සතු දැක්ම සහ මෙහෙවර  වැනි බොහෝ කාරණා  මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව හැදෑරීම , දැනුවත්වීම මාධ්‍ය  සාක්ෂරතාවය තුළට අන්තර්ගතවෙලා කියන කාරණයට වර්තමාන විද්‍යාඥයෝ පෙළඹිලා . ඒ නිසා  මාධ්‍ය නිදහස සමරන මොහොතක මම නම්  දකින දේ තමයි මාධ්‍ය පිළිබඳ ජනතාව තුළ පවතින   අවබෝධය  මීට වඩා පුළුල් කළ යුතුයි කියන කාරණය. අපේ රටේ සමහර අය මාධ්‍ය  නිදහස කියන වචනය දන්නෙත් නැ,මාධ්‍ය නිදහස කියන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද  කියන එක දන්නෙත් නෑ. ඒ නිසා මේ වගේ දිනයක් සමරන මොහොතක මාධ්‍ය  ක්‍රියාකාරීත්වය, මාධ්‍ය ව්‍යූහය, මාධ්‍ය  නිදහස, වාරණය හරහා සිදුවන සමාජ  බලපෑම, මාධ්‍ය සංස්කෘතිය  මේ වගේ කාරණා පිළිබඳවත් අපේ රටේ ජනතාව  කිසියම් අවබෝධයක් ලබාගත යුතුයි.

 

සංවාද සටහන

සානිකා ප්‍රියංජලී දිසානායක

Related posts

Leave a Comment