web analytics
comman කාලීන 

වෙස් පෙරළූ වෙසක්….?

අවුරුදු ඇවිත් ගිය ද තවමත් සම්පූර්ණයෙන් ම අවුරුදු සිරිය අප අතරින් නික්ම ගොස් නැති බවක් ඉඳහිට හෝ ඇසෙන කොහාගේ දුප්පත් ස්වරය අපට කියයි. අවුරුදුවලින් අනතුරු ව අප කවුරුත් සූදානම් වන්නේ වෙසක් සඳට අහසෙහි ඉඩකඩ සදන්නට ය. අවුරුදු පමණක් නොව  දැන් දැන් වෙසක් ද අමුතු ම ආකාරයක් ගෙන ඇති බව මේ දිනවල මගතොට ඇහෙන දකින දේ නිසා පැහැදිලි වන කරුණකි. එය ඇතැම් විටෙක කාලයේ හැටි වන්නට ද පුළුවන. කාලය වෙනස් නොකළේ  කුමක්දැයි අපි නොදනිමු. කවරක් නමුත් දැන් දැන් අමුතු අමුතු දේවල් හරි වේගයෙන් අප අතරට පැමිණ ඇත.

මෙයට කලකට ඉහත දී වෙසක් එනවා යැයි කිවු සැණින් ගමේ කුඩා ළමුන්ට වැඩ අධික වෙයි. ගෙදරින් කොතෙක් බැණුම් ඇසුව ද කැලේ රිංගා බට ගස් කපාගෙන වෙසක් පහන් කූඩු සකසන තුරු ඔවුන්ට සැනසීමක් නොමැති තරම් ය. පොහෝ දිනයෙහි පන්සල් යන්නට මල් කඩන්නට ද ඇත්තේ එක ම පොරයකි. සුදුවතින් සැරසී අම්මාගේ අතේ එල්ලී පන්සල් යාම එදා අපිට ගෙන දුන් මිහිර දැනුදු සිහි වෙන විට හද සියුම් වේදනාවක් නැගෙන්නේ යළි එවන් කුඩා අවදියක් අපට මේ ආත්මයේ කිසි දිනෙක නොලැබෙන නිසාවෙනැයි සිතමි. එහෙත් අද කාලයේ වෙනස දකිනවිට සිනාවෙන්න දැයි හඩන්න දැයි සිතා ගත නොහේ. දන්සැල් , තොරණ , පින්කම් මේ සියල්ල අද වෙනස් වී ඇත. පින්කමක් යැයි කිවු විගස අද පන්සලේ හාමුදුරුවන්ගේ සිතට මුලින් ම එන්නේ එයින් ලබාගත හැකි ආදායම පිළිබඳ ව මිස ගිහියන් සුගතිගාමි කරන ආකාරය නොවේ. දන්සැල් අද ඇත්තේ ද අලුත් ‘’ආතල්’’ එකක් ගැනීමට මිස ආමිස පූජාවක් වශයෙන් නොවේ. තොරණ කතා වස්තුව කීම පසෙක තබා එයට ආධාර දුන් අයගේ නම් විරිදුවෙන් ගායනා කිරීම සිදු කරයි. තොරණේ විදුලි එළි දෙස බලා යළි ගෙදර එන්නට සිදු වී තිබීම කොතැනක සිදු වූ වරදක් ද?

වෙසක් කාඩ්පත් අලෙවි කරන අයුරු දුටිමි. එහෙත් බොහොමයක් ඒවායේ සදහන් වී ඇත්තේ බොදු බැතිය වඩවන කවි නොව ආදරය ගැන කියවෙන ඒවා ය. ඇත්තේ ද වැලන්ටයින් දින සිහි කරවන ආකාරයේ කාඩ්පත් ය. විවිධ වර්ගවල වෙස් මුණූ අලෙවි කරන්නට තබා ඇති ආකාරය අනුව ඉදිරියේ දී බුදුරුව ද වෙස් මුහුණක් සේ සකස් වීමේ අරුමයක් නොදකිමි. හැලොවින් ආකාරයේ වෙස් මූණු ද මෙවර වැඩිපුර දැකිය හැකි ය. නූතනයේ වෙසෙන කුඩා ළමුන්ගේ ද වැඩි රුචියක් ඇත්තේ පන්සල් යන්නට නොව එවන් වෙස් මූණූ පැළැඳ නටන්නට ය. වෙස් මුණූ පැළැඳ නැටීම කවරාකාර වෙසක් පින්කමක්දැයි නොදනිමි. වෙසක් පහන් කූඩුවක් සාදන්නට වත් නූතන පරම්පරාව දන්නේ නැතුවාට කිසිදු සැකයක් නැත. විකිණීමට ඇති වෙසක් කූඩු විශාල මුදලක් ගෙවා ගෙනැවිත් එල්ලීම අද පොදු ලක්ෂණයක් වී ඇත. පෙර තිබූ අපූරු වෙසක් පරිසරය අද අප අතරින් හොරෙන් ම වියැකී ගොස් ඇත. සියල්ල ඉතා වේගයෙන් වෙනස් වී ඇත.

එදා අප නිර්මාණය කරගත් වෙසක් අසිරිය , අද වෙළෙන්දන්ගේ වෙසක් බවට පත් වී ඇති ආකාරය දැක ගතිමි. සියලු වෙසක් සැරසිලි , නානාවිධ  ස්වරූපවලින් නිර්මාණය වී ඇත. හරි පහසු ලෙස කැමති ලෙසකට වෙසක් ‘මිල දී ‘’ ගත හැකි ය. පන්සලේ වෙසක් නැත. සම්බුදු තෙමඟුල යනු කුමක්දැයි කියාවත් අද හරිහැටි නෑසෙන තරම් ය. මාධ්‍ය ආයතන අතර ද ඇත්තේ හොඳ ම වෙසක් පින්කම පෙන්වීමේ තරගයකි. එදා බුදුරදුන් දෙසූ බණ , අද හොඳ ඉල්ලමක් කරගත් චීවරධාරීන් ද ඕනෑ තරම් ය. මේ ධර්මද්වීපයේ ඇත්තේ වෙසක් වෙළෙදාමකි. වීදී පුරා ඔහේ ඇවිද යමි. වෙසක් , වෙස් පෙරළා ඇති බව අවබෝධ කරගතිමි. නිර්වාණය කෙසේ වෙතත් සමාජ පරිහානියේ ඉක්මන් යථාර්ථය වටහා ගැනීමට එය කමටහනක් වී ය. මේ බොදු ගී පේළිය ද මතකයට නැගිණි.. ’’අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා , බුදු හාමුදුරුවනේ…..

සාධු.. සාධු…සාධු…….

 

රොෂාන් මුතුකුමාර

Related posts

Leave a Comment