web analytics
comman තෙවැනි ඇස 

මට හිතෙන හැටි..

හිත….හරි ම පුදුමාකාර ය..වෙලාවකට අපිට හිතෙන දේවල් ගැන හිතා ගන්න වත් නොහැකි තරම් ය.අපට හිතෙන දේවල් එලෙසින් ම ඉටු වෙනවා නම් ඇතැම් විටෙක මේ මුළු ලෝකය ම අපේ වී තිබෙන්නට ද පුළුවන. හිත අපිව රැගෙන යන දුර අනන්තයෙනුත් එපිට ය. අසුරු සැණෙකින් අපිට ලෝකයේ කවර තැනකට වුව ද ගොස් එන්නට හැකි ය. ඒ වේගය කිසිදු දෙයකට සමකළ නොහැකි ය.
එදිනෙදා අපි කොයි තරම් නම් දේ ගැන හිතින් හිතනවා ද? උදෑසන අවදි වූවාට පසු ව බොහෝ දෙනෙක් එදා කළ යුතු වැඩ ගැන හිතින් සැලසුම් කරගනිති.සමහරු කලින් වැඩ ගැන යළිත් සිතති. මඟ හැරුණු දේ ගැන දුක් වෙති. තැවෙති. ඒ ගැන මතක් නොවීම ගැන තමන්ට ම  දොස් පවරා ගනිති. යළිත් එවන් අතපසුවීම් නොවිය යුතු යැයි සිතා ගනිති..
මහ පාරේ යන විට ද හිත කොයි තරම් දුර දුවනවා ද..පාරේ යන එන වාහන දිහා බලමින් වටපිට රූසිරි දිහා බලමින් යන ගමනේ අපේ හිත එක තැනෙක නැති තරම් ය.කාර්යබහුල ය.අලුත් මාදිලියේ වාහනයක් ගිය සැණින් සිත ඒ පසුපස දුවයි.තමන්ට ද එවන් වාහනයක් තිබුණේ නම් කොයි තරම් අගනේ දැයි සිතට නැඟෙයි..ලස්සන කෙල්ලෙකු දුටු විගස සිතින් හෝ ඇය ව හිමි කර ගනී..ඇය ව තමා සතු කරගන්නට ඇත්නම් කියා සිතෙයි..මේ හැම දෙයක් අතර ම තමන් මහා පාරෙ සිටින බව සිතා නොසිටියහොත් සිත පමණක් නොව ජීවිතය ම off වන්නට ද ඉඩ ඇති බව සිතෙහි තබා ගත යුතු ම ය.
විභාගයක දී සිත වැඩ කරන හැටි ද අපූරු ය. විභාගයට පෙර සිත හා විභාගය අතරතුර සිත හරි වෙනස් ය.නොදන්නා ප්‍රශ්නවලට දන්නා සේ නොයෙක් දහම් ගැට අමුණා ලියන්නට හිත වෙහෙස මහන්සි වෙයි.එයට අදාළ පිළිතුර කොතෙක් මතක් කළ ද සිතට නොනැඟෙයි.ප්‍රශ්න පත්‍ර එකතු කරගෙන ගියාට පසු ව පිළිතුරු එක දිගට මතක් කර දීම හිත අකුරට ම සිදු කරයි..ඊළඟ විභාගයටවත් මීට වඩා පාඩම් කළ යුතු බව තදින් සිතට ගනියි.
මේ ආකාරයට ලියන්නට ගියොත් හිත ගැන කොහෙන් නතර වෙයි දැයි මටවත් හිතා ගන්නට නොහැකිය.එනිසා ටිකෙන් ටික ලියන්නට උත්සාහ කරමි. මේ කොයි හැටි වෙතත් අපේ හිත අපිට ම අවනත නැති ය..මේ මට හිතෙන හැටි ය..

රොෂාන් මුතුකුමාර

 

Related posts

Leave a Comment