web analytics
comman ගවේෂණ 

මේ ආදරයයි මේ තරමට හිට් වුනේ ඇයි ?

මේ ආදරයයි නිසා ඉෂි අම්මයි රමන් බල්හායි ලංකාවේ ප්‍රේක්ෂකයෝ අතරේ කොයි තරම් ජනප්‍රිය වුනාද කියනවා නං, ඉෂිතා ලංකාවට ආපු වෙලාවේ මඟ දෙපස හිටපු සෙනඟෙන් ඒක ඔප්පු වෙනවා. මේ ආදරයයි කියන්නේ ඉන්දියාවේ “ස්ටාර් ප්ලස්” චැනල් එකේ යන පවුලේ කට්ටියටම හදපු රූපවාහිනී මාලා නාටකයක්. අපි මේ ආදරයයි කියලා බැලුවට මේකේ නම Yeh Hai Mohabbatein මේ වෙනකොට ඒක සෑහෙන්න සම්මාන ගාණක් අරන්, සෑහෙන නොමිනේෂන් එහෙමත් ලබාගෙන තියෙන්නේ. ඊටත් වඩා මිනිස්සු අතරේ මේක පුදුම ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම මේකේ ඉන්න අයත් කියනවා Yeh Hai Mohabbatein මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවෙ නැහැ කියලා.

මේකේ රමන් බල්හා පන්ජාබි. ඉෂිතා කියන්නේ දකුණු ඉන්දියානු දමිළ. සාමාන්‍යයෙන් ඔය වගේ මිශ්‍ර විවාහ ඉන්දියාවේ වෙන්නේ ප්‍රශ්න පිට. ඒ මදිවට රමන්ට කලින් විවාහයෙන් දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම දේවල් මේ ආදරයයි හිට් වෙන්න පදනම් වුණා.

මේ ආදරයයි නාටකයේ වැදගත්ම අංගය මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ ප්‍රශ්න විසඳන එක තමයි. ඒ තරමට ඉෂි අම්මටයි රමන් බල්හාටයි ප්‍රශ්න. අඩු තරමින් ඔක්කොම ප්‍රශ්න විසඳගෙන ජොලියේ ඉන්නවා කියලා හිතනකොට මැරිච්ච කෙනෙක් හරි ප්‍රශ්න අරගෙන එනවා. දැන් ඔය නාට්‍ය ඉවරවෙන විදිය අපිට කලින් කියන්න පුලුවන් මේ වෙනකොට. ඉෂිතායි රමනුයි ප්‍රශ්න ඔක්කොම යන්තම් විසඳගෙන, ප්‍රශ්න දාන්න පුලුවන් කියලා හිතෙන හැම එකාගෙන්ම ඈත් වෙලා ෂෝක් එකට ඉන්නවා.

හැබැයි මේ ප්‍රශ්න පිට ප්‍රශ්න නැති වුනු දාට තවදුරටත් මේ ආදරයයි නෑ කියලා කල්පනා වුනාද? අන්න ඒක තමයි රහස. මේ අයගේ ප්‍රශ්න, පවුල් අවුල් දිහා බලනකොට ඇත්තටම අමාරු ජීවිතයක් ගෙවන මනුස්සයෙක්ට ඒක තමන්ගේ ජීවිතෙන් මොහොතකට පළා යන්න අවස්ථාවක් වෙනවා.

ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන දුප්පත් පෝසත්, උස් පහත් ඕනම කෙනෙක් මුහුණ දෙන දෙයක් තමයි ප්‍රශ්න කියන්නේ. සල්ලි තියෙන මිනිහෙක්ට සල්ලි නැති මිනිහෙක්ට තරම් ප්‍රශ්න නෑ කියලා හිතන්න එපා. එකම දේ තමයි ඔබට තියෙන ප්‍රශ්නේ නෙවෙයි අනෙක් අයට තියෙන්නේ. ඒ ප්‍රශ්න පත්තරේ නෙවෙයි අල්ලපු ගෙදර කෙනාට තියෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න දිහා විවෘතව බලන්නෙ නෑ, විවෘතව කතා කරන්නෙ නෑ. ඉතින් අන්තිමට නන්නත්තාර වුණ ගමන්  කා එක්කවත් ප්‍රශ්න කතා කරන්නෙ නැතුව දිවිනසාගන්න යනවා. මේ නිසාම මේ ආදරයයි ගොඩක් දෙනා බලනවා කියන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න එළිපිට කතා කරන මේ ආදරයයි කථාව හරියට ප්‍රශ්න එක්ක ගැටෙන මනුස්සයෙක්ට භාව විරේචකයක් වගේ. ඒ මනුස්සයටත් හිතෙනවා මටත් තියෙන්නේ මේ ප්‍රශ්නනේ, මටත් මේවා මේ විදියටම විසඳගන්න පුලුවන්නේ කියලා.
ප්‍රශ්නවලට අමතරව මේ ආදරයයි කතාවේ යටින් ගලාගෙන යන ලොකු ආදර කතාවකුත් තියෙනවා. දරු සෙනෙහසත් එක්ක ගලාගෙන යන මුහුකුරා ගියපු කපල් එකකගේ සීරියස් ලව් එකක් මේකේ තියෙනවා. රමන් බල්හා මුලින් නපුරු චරිතයක්. නමුත් ඉෂිතා බැන්දට පස්සෙ රමන් බල්හා ටික ටික වෙනස් වෙන්න ගත්තා.

මේ ආදරයයි ටෙලි නාට්‍යයේ ආදර ජවනිකා ඕනෑ තරම් තියෙනවා.  ඒ වගේම පිහියෙන් ඇනිලි, දිය යටින් ගින්දර ගෙනයාම් තියෙනවා. දරු සෙනෙහස ගැන බලාගෙන ඉන්න අම්මලට ඇඬෙන්න පෙන්නනවා. එතකොට සැබෑ ආදරේ, පක්ෂපාතීත්වය, තමන්ගේ පවුලට තියෙන ආදරේ වගේ සිත නිවන කතා වැනි ආදර්ශමත් දෑ තියෙනවා.

ඉන්දියානු සෝප් ඔපෙරා ඕන එහෙක දකින්න පුලුවන් විශේෂම ලක්ෂණයක් තමයි කොයි තරම් වර්ණවත්ද කියන එක. ඒ කියන්නේ ලංකාවේ නැත්නම් හොලිවුඩ් නිෂ්පාදනයක් එක්ක සසඳලා බලනකොට ඇහැට පේන වර්ණ වෙනසක් තියෙනවා. මේක එන්නේ කථාවේ පසුබිමෙන්, ඇඳුම් පැළඳුම් වලින් වගේ හැම දේකින්ම. ඉතින් ඇඳුම් පැළඳුම් ගැන හිතලා බලනකොට මේ ආදරයයි එකේ ඉෂිතා ඇතුළු ඔක්කොම බවලත්තු ගෙදරට අඳින්නේ මෙහේ වෙඩින්ග්ස් වලට අඳින මට්ටමේ සාරි. නිදාගන්න යන්නෙත් අර වගේ අපූරු සාරියක් ඇඳලා මාල වළලු ඔක්කොම පැළඳගෙන තමයි. පිරිමි කට්ටියත් වෙනසක් නෑ. ගෙදර ඉන්න වෙලාවකත් ෆුල් යුරෝපියන් කිට් එකෙන්, නැත්තං අඩු ගාණේ වෙස්ට් කෝට් එක පිටින් හරි තමයි ඉන්නේ. හැබැයි ගෑණු උදවිය ආසයිනේ ඔය ලස්සන ලස්සන ඇඳුම් මෝස්තර එහෙම බලන්න. ඉතින් මේ ඇඳුම් පැළඳුම් වල ඉඳන් තියෙන වර්ණවත් ස්වභාවයත් කෙනෙක්ව මේ ආදරයයි බලන්න පොළඹවනවා.

මේ ආදරයයි එක්ක තියෙන ඕපාදූප හුවමාරු ට්‍රෙන්ඩ් එක ගැන මොකද හිතන්නේ?   ඔන්න අපේ අම්මලා නැන්දලා එහෙම මේ ආදරයයි බලලා ඊලඟ දවසේ පොළේ එළවලු ගේන්න ගියහම කතා කරන්නේ ඉෂිතාගේ මනිපූර් සාරියේ ගාණ කොහොමද කියලා. උදේට මිදුල අතුගාන ගමන් එහා ගෙදර ඩල්සි ඇන්ටි එක්ක කතා කරන්නේ ඉෂිතා ඉස්සර වෙයිද රමන් ඉස්සර වෙයිද හනිමූන් යන්න කියලා. එතකොට හවසට පුංචිගෙන් කෝල් එකක් ආවම අම්මා හෝ ගාලා පැමිණිලි කරන්නේ ඉෂිතා එක්ක තරහ මිනිස්සු ඉෂිතාට කරන නපුරුකම්, අරියාදු ගැන.

හිතලා බලලා තියෙනවද ඇයි මේ ටෙලි නාට්‍ය සතියේ දින පහේම එකම වෙලාවකට විකාශය කරන්නේ කියලා? එකක් තමයි සතියට සැරයක් පෙන්නන්න ගියොත් එක නාට්‍යක අධ්‍යක්ෂක මිය යනකල්ම වෙන නාට්‍යයක් කරන්න හම්බුවෙන්නෙ නෑ. ඒ නිසා මෙගා ටෙලිනාට්‍ය දිනපතා පෙන්නන්න වෙනවා. අනෙක් ප්‍රධානතම කාරණාව වන්නේ තමන්ගේ චැනලය එක්ක මිනිස්සු රඳවා ගැනීමයි.

දිනුෂිකා ආරියරත්න

 

Related posts

Leave a Comment