web analytics
comman කාලීන 

විජයග්‍රහණයේ සැමරුම

විජයග්‍රහණයේ සතුට, සැමරුම බෙදා ගන්නා මෙවන් මොහොතක ඔබේ හද තුල රුව් දෙන්නේ සතුටද දුකද නැතහොත් කම්පාවද කනස්සල්ල ද කියා මා හට  හරියාකාරව නිගමනයකට ඒමට හැකියාවක් නොමැත. මන්ද මේ රංගනයේ ඔබේ භූමිකාව කුමක්ද යන්න මා නිශ්චිතව නොදන්නා හෙයිනි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇත. ඔබට අහිමි වුයේ ඔබේ පියා විය හැකිය. නැත්නම් ඔබේ සැමියා, ඔබේ පෙම්වතා ,ඔබේ පුතා ,ඔබේ සහෝදරයා ද විය හැකිය. නැත්නම් ඔබේ හොඳම මිතුරා ළඟම හිතවතා වීමටද පුළුවනි. ඔවුන් තම ජීවිතය කැප කලේ ඔබේ, මගේ,රටේ  ආරක්ෂාව වෙනුවෙන් නොවේද? අප රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඔබට, මට යහපත් අනාගතයක් උදා කර දීමට නොවේද? රණවීරවරයන් වන ඔවුන් උදාකර දුන් මේ දෙවැනි නිදහස අද අප භුක්ති  විදින්නේ මහත් වූ ආඩම්බරයෙනි. ඒ ආඩම්බරය පිටුපස ඇති වසර 30 කුරිරු මතකය පිළිබඳ මා නැවත නැවත ආවර්ජනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. මන්ද කලින් කි පරිදි එම රංගනයේ ඔබත් එක් භූමිකාවක් රඟ පෑ නිසාවෙනි. මේ සැමරුම කිරිබත් කැල්ලක් රස විඳ රට පුරා ශබ්ද පුජා පවත්වමින් පෙළපාලියකට සහභාගී වීමෙන් සමරනවාද යන්න ඔබේ මනාපයකි. නමුත් එහි සාදාරණත්වය පිළිබඳ ගැටලුවක්ද පැන නගියි. ඔබ මෙසේ මෙම විජයග්‍රහණයේ සතුට භුක්ති වින්ඳ ද,ගේ දොරකඩට වෙලා තම පියා එනතුරු  බලන් සිටින දූ දරුවන් තවමත් සිටින්නීය. ඔවුනට  කිසිදාක තම පියාගේ උණුහුම විඳින්නට වරම් නොමැති වන්නට විය. තම සැමියා අහිමි වූ බිරිඳගේ වේදනාව ඇගේ මුළු ජිවිත කාලය පුරාම රුව් පිළි රැව් දෙනු ඇත.  තම අහිමි වූ දරුවාගේ මතකය සමඟින් අනෙක් දරුවන් දෙස බලා හුල්ලන මව්වරුන් කොපමණ නම් සිටීද? පෙම්වතාගේ වියෝව දරා ගනු බැරිව හඬා වැළපෙන පෙම්වතියන්ගේ දුක් අදෝනාව තවමත් ඔවුන්ගේ හදවත් තුල සැගවී පවතිනවා නොවේද? .මෙකී  සංවේදීත්වයට පිළිතුරක් ලබා  දීමට ඔබට හැකි ද? අහිමි වූ ඔවුන් වෙනුවෙන්  විජයග්‍රහණයේ සමරන අපට කල හැකි වන්නේ ඔවුන් කල වටිනා කැප කිරීමට ආචාර කිරීම පමණි.

යුදබිමේ සටන් කොට ආබාධිතව ජිවන ගමන සමඟ සටන් වඳින අපේ රණවිරුවන් රැක බලා ගැනීම අපගේ යුතුකමක් වන්නේය. ඔවුනට අහිමි දේ අපට ලබා දිය නොහැක.නමුත් ඔවුන් සතුටින් තැබීම මෙන්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්  බලාපොරොත්තුවක් ඇති කිරීම  අපට කළ හැකිය. විජයග්‍රහණයේ සැමරුම මැයි 18 දිනට පමණක් සිමා නොකට සැමදා ඔවුන් අපට උදා කල දුන් මෙම  විජයග්‍රහණය මතකයේ තබා ගනිමින් ඔවුන් වෙනුවෙන් කල යුතු මෙහෙවර කිරීම අපගේ යුතුකමක් මෙන් වගකීමක්ද වන්නේය.

 

නිම්නි දසනායක

Related posts

Leave a Comment