web analytics
comman කාලීන 

යුද්ධයේ සෙවණැලි තවමත් අප අතර සැරිසරයි ද?

සුන්දර දුපතක් ලෙසින් ප්‍රකට ශ්‍රී ලංකාව කාගේත් සිත් දිනා ගත්තේ සුන්දරත්වයම නිසා නොවේ. සුන්දරත්වයට එහා ගිය වාණිජ වටිනාකම් හේතුවෙනි. මෙකී පදනම මත විදේශීය ආක්‍රමණවලින් අඩුපාඩුවක් නොවීය. වසර ගණනාවක් පුරා විදේශීය සූරාකෑම්වලින් පීඩනයට පත් වූ ජනතාව 1948 න් පසු නිදහස උරුම කර ගනියි. කෙමෙන් දේශජ තත්ත්වයට පත්වන බොහෝ කරුණු කාරණා අතරට ජාති බේදයකින් තොරව ජනතාව සම්මාදන් විය. ගත වූයේ කෙටි කාලෙකි. මහා බ්‍රිතාන්‍යයෙන් ගිලිහුණු මේ කුඩා භුමියේ හිමිකාරිත්වයේ ගැටලු මතු විය. ඊට විසදුම් සෙවීමේ වගකීම පාලකයන් සතුය. සියලු සාකච්ඡාවලින් අනතුරුව යුද්ධය සියල්ලටම විසදුම ලෙස තෝරා ගැනිණි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් LTTE සංවිධානය යුද පිටියේ විරුද්ධ පාර්ශවය බවට මේ ආකාරයට පත් විය. ලංකාවේ සියලුම දේශපාලන, ආර්ථීක, සංස්කෘතික, ආගමික ක්ෂේත්‍ර යුධමය වාතාවරණයක් ඔස්සේ ගලායන්නට වූ සමයකි. විදේශ බලපෑම් වෙළද ව්‍යාපාර, සංවර්ධන කටයුතු සියල්ල වෙනස් විය.පය තබන වාරයක් පාසා යුද්ධයෙහි උණුසුම දැඩිව දැනෙන්නට විය.දිනසති මාස අවුරුදු ගත විය.යුද්ධය මුහුකුරා ගොස් හැදී වැඩි මහල්ලෙකුව මියැදුණේය. මැයි 18 වන දිනයට විශේෂ වටිනාකමක් එක්වන්නේ එනිසාවෙනි.

යුද්ධය අවසන් ව ගොස්ය. නමුත් යුද්ධයේ සෙවනැලි තවමත් අප අතර සැරිසරයි. ප්‍රභාකරන් මියැදුණ පමණින් යුද්ධය අවසන් වුවා යැයි සිතීමට තරම් අප බොළද ජාතියක් ද මදුරුවෙකුට පහරක් එල්ල කරන විට එම පහර මදුරුවාට වැදුනත් නැතත් තමන්ට වදින බව අප දන්නා කරුණකි. එහෙත් ඉන් මදුරු කරදරය අවසන් නොවෙයි. මදුරුවන්ට පහර එල්ල කිරිම මදුරු කරදරය අවසන් කිරිමට  හේතුවක් නොවන බව ඉන් පැහැදිලි වේ. සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රධාන ජාතීන් තුනට අමතරව වෙනත් ජාතින් රැසක් ජිවත් වන භුමියක් ලෙස ලංකාව හැදින්විය හැකිය. වර්තමානයේ ජාතියේ නාමයෙන් සිය ආවේගශිලී අදහස් ප්‍රකාශ කිරිමට ජනයා දෙවරක් සිතන්නේ ද නැත. සමාජජාල හරහා මේ දිනවල පලවන අදහස් ඊට කදිම නිදසුන්ය. රැයක් දවාලකින් තොරව   සමාජජාලවලට අදහස් එක් වෙයි. එනමුත් උපතින් ජාතියක් හිමි නොවන බවත් හැදෙන වැඩෙන පරිසරය ජාතිය උරුම කර දෙන බවත් සියල්ලටම අමතකව ගොස්ය.

ජාතින් කොපමණ සිටියද මේ පුංචි භුමියේ ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් විමට හැකි නම් එය කෙතරම් අපූරුද? රටක් ලෙස දියුණුවිමට නම් එක් ජාතියක් ලෙස සිතීම ඉතා වැදගත් වේ. තවමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. ඉදිරියටත් එය එසේම පවතීවි. ජාතින් අතර ඇති මතබේද හේතුවෙන් ඔවුන් ජාතියක් වශයෙන් පමණක් දියුණුවිමට උත්සහ දරයි. එවිට ඇති වන්නේ රටෙහි සංවර්ධනය නොවේ. තවත් යුද අංකුරයක පැන නැගීමකි. ජාතියක් අවශ්‍යයි. නමුත් ඒ එකිනෙකා කුළල් කා ගැනීමට නොව සංස්කෘතිකමය වශයෙන් විවිධත්වය ඇති කිරීමට ය.

වෙනස් වූ සිතුම් පැතුම්වලින් පෝෂිත ජනයා එක් තලයකට රැගෙන ඒමට තරම් අපි තවමත් අපොහොසත් ය. ‘යුද්ධය අවසන් ය’ යැයි සැනසිලි බස් දෙඩීම අනවශ්‍යය. මන්ද යත් තවමත් අපි අතර යුදකාමී සිතිවිලිවල නම් අඩුවක් නැත.කෙදිනක හෝ ලාංකිකයන් ලෙස එකසේ ජාතිබේදයකින් තොරව සිතීමට හැකි දවස යුද්ධයේ නිමවා බව පැවසීමට යුක්ති ගරුකය.

 

-තිළිණි මධුෂිකා බණ්ඩාර-

 

Related posts

Leave a Comment