web analytics
comman ගවේෂණ 

මානව භාෂාව

මානවයා සතු  වූ ඉන්ද්‍රිය ශක්තිය මෙන්ම  බුද්ධි ශක්තියේ මහිමයෙන් අනෙක් සතුන්ට නොමැති වූ  විශේෂ හැකියාවක් ලබා ගැනීමට මානවයා සමත් විය.එනම් භාෂා හැකියාවයි.පුද්ගලයෙක් සතු භාෂා හැකියාව මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙන් කරනු ලැබූ ප්‍රධානතම සාධකය වුවා පමණක් නොව මානව සමාජයේ ඇති සන්නිවේදන ක්‍රම අතරින් ප්‍රබලම සන්නිවේදන උපකරණය බවට ද පත් විය.කිසියම් ජන සමාජයක් තම සන්නිවේදන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව නිර්මාණය කර ගත්  ශබ්ද , සංකේත සමුදය වන්නේ  භාෂාව  යි. මුලික වශයෙන්ම ඉන්ද්‍රිය සමුහයක් ක්‍රමානුකූලව චලනය කරමින් නිපදවන ශබ්දයන් ගෙන් සමන්විත වුවකි. මුඛ වාතය, පෝෂණ තන්තු, කණ්ඨක,දිව, තොල් ආදී ඉන්ද්‍රියන් ක්‍රමානුකූලව චලනය කරමින් විවිධ විපර්යාසයන්ට භාජනය කිරීම භාෂාමය ශබ්ද නිර්මාණයේදී සිදුවේ.මානවයාගේ සියලු චින්තනයන් ක්‍රියාත්මක වන්නේ මානව භාෂාවේ ඇති හැකියාව නිසාය.සෑම සත්ත්වයෙක්ම මුඛය හා අංගෝපාංග ආශ්‍රයෙන් නොයෙක් පණිවිඩ හුවමාරු කර ගන්නා අතර මානව භාෂාවේ ඇති හැකියාව නිසා සංකීර්ණ අදහස් හුවමාරු කර ගැනීමට ද  සංකීර්ණ සමාජයක් හා අති විශාල පුථූල ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමටද මානවයාට හැකි විය.අතීතයක් වර්තමානයක් හෝ අනාගත දුෂ්ටියක් සත්ත්වයින්ට නොමැති වීමටත් මානවයින්ට හිමි වීමටත් ප්‍රධානම සාධකය වනුයේ භාෂාවයි .

ඕනෑම පුද්ගලයෙකුගේ උරුමයෙන් ලද හාෂාව “මව් භාෂව” යනුවෙන් හැඳින්වේ.භාෂාවක් වෙන් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මානවයාගේ ලේ උරුමයයි.ලෝකයේ මානව පරිණාමය පිළිබඳ සලකන විට එක් එක් භාෂාවන් නිර්මාණය වීමට සංස්කෘතික හුවමාරුවද  බලපා තිබේ.කථික භාෂාව හෙවත් කථන භාෂාව ,ලිඛිත භාෂාව මෙන්ම සෑම ජන සමාජයකම භාවිතා වන රූප භාෂාව හා එහි අර්ථයන් හා මනෝභාවයන් මතු කිරීම ඒ ඒ සංස්කෘතීන්ට විශේෂිතව සිදු වේ.මානව සංස්කෘතින්ගේ සබඳතාවන් අතීතයේ සිට වර්තමාන සමාජය තුළ විවිධාකාරයෙන් දැක ගත හැකිය. එක් භාෂාවක්  භාවිත වන සමාජයක් සහ අන්‍ය භාෂාවක් භාවිතා වන සමාජ අතර සම්බන්ධතා ආක්‍රමණ,සංචාර,වෙළඳාම ,ස්වභාවික හේතුන් ආදීය නිසා ඇති වේ.මෙසේ එකිනෙකින් වෙනස් භාෂා භාවිතා වන සමාජ අතර සම්බන්ධතා නිසා ඇතැම් භාෂාවක් කෙරේ අන්‍ය භාෂාවක හෝ භාෂා කිහිපයක බලපෑම දක්නට හැකිය.

ග්‍රීක දර්ශනිකයින්ට අනුව භාෂාව එකවැර හදිසියේම බිහිවූවක් නොව එය ක්‍රමයෙන් මිනිස් පරිණාමයත් සමඟ වර්ධනය වූ සාධකයකි.ලෝකයේ ඇතැම් ජනයා වචන මගින් තම අදහස් හුවමාරු කර ගන්නා අතර තවත් පිරිසක් අංග චලන මගින් තම අදහස් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව ලෝකයේ පවත්නා සියලුම භාෂාවන් වාචික හා නිර්වාචික වශයෙන් කොටස් දෙකකින් සමන්විතය.මේවා භාෂා භාවිතයේ ස්වරූපයන් ලෙස හදුනාගැනිමට පුළුවනි. පුද්ගලයාගේ එදිනෙදා කර්තව්‍යයන් ඉටු කර ගැනීමට මානවයා සතු වූ භාෂාව මගින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.මේ අනුව මානව භාෂාව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යතම අංගයක් බවට පත් වී තිබේ.

නිම්නි දසනායක

Related posts

Leave a Comment