web analytics
comman කාලීන 

සමරමු පොසොන්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අනුරාධපුරය හා මිහින්තලය ප්‍රධාන කොට ගෙන සමරනු ලබයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත් වූ ලක්දිවට අනුබුදු මිහිඳු හිමියන්ගේ වැඩමකිරීම මෙම පොහෝ දිනයේ විශේෂත්වය වේ. එය ලක්වාසී බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ විශේෂ වූ හේතුවක් නිසාවෙනි. එනම්, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳගත් පසු තම අසල්වැසි රාජ්‍යයන්ට එම ධර්මය ව්‍යාප්ත කිරීම අරඹන ලදී. ක්‍රි.පු 250 දී පමණ පවත්වනු ලබන තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමයි. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ බැතිමතුන්ට අති උතුම් දිනයකි. මෙරටට ධර්ම ප්‍රදීපය දැල්වුන මොහොත සිහිපත් කරන මෙම උතුම් දිනය සිංහල බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. එලෙස ලංකාද්වීපයේ බුදු දහම ස්ථාපිත වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුවය.

මෙම පොහෝ දිනය පොසොන් යන නම ලබන්නට ඓතිහාසික කරුණු බලපෑවේ ය. එනම්, පුරාණ ලංකාවේ පොසොන් කෙළිය නමින් සැණකෙළියක් පැවැත තිබුණි. එහි දඩකෙළි, දියකෙළි, ගිනිකෙළි, රතිකෙළි යනාදීන්ගෙන් සමන්විත විය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩි මොහොතේ ද එවක මෙරට රජකළ දේවානම්පියතිස්ස රජු දඩකෙළියේ යෙදෙමින් සිටියහ. එදින මිහින්තලා පර්වතයට පූර්ණ චන්ද්‍රයා දිස් වී තිබුණි. මෙදින  පොසොන් කෙළියේ එක් අංගයක් වූ දඩකෙළියේ යෙදෙමින් මහ රජු මුවෙකු පසු පස හඹා යමින් සිටි බව සඳහන් වේ. එමඟින් පැහැදිලි වන්නේ එදින පැවැත ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් පොසොන් කෙළිය නම් වූ සැණකෙළියයි. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කරන ලද්දේ ද එම දිනයේ බැවින් මෙම පොහෝ දිනයට පොසොන් යන නම ලැබෙන්නට ඇති බව සිතිය හැකිය.

ලාංකීය ශිෂ්ටාචාරයට නවමු අර්ථකථනයක් ලබා දුන් මෙම පොහෝ දිනය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් වේ. පොසොන් කෙළිය නම් වූ හුදු විනෝදාස්වාද සැණකෙළි පවත්වමින් ගත කළ අර්ථ විරහිත ජීවිතවලට නව අර්ථයක් එක් කරමින් නව මානයක්, තර්කානුකූල බවක් මෙන් ම ධර්මානුකූල බවක් එක් කරන්නට මෙදින හැකි විය. මිහිඳු හිමියන් ලංකාද්වීපයට වැඩම කළ මෙම උත්තම දිනයේ දී ශිෂ්ටාචාරගත වෙමින් සිටි මිනිසුන්ට ජීවිතය දෙස අලුත් ඇසකින් දකින්නට නව මාවතක් උදාවිය. එදායින් පසු මෙරට ධාර්මිෂ්ඨ පාලනයක් රැගෙන යන ලදී. මිනිසුන් අප ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව සිය ජීවිත හැඩගස්වා ගන්නා ලදී. මෙම පොහෝ දිනය අපට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. අප ශිෂ්ටාචාරවත් මිනිසුන් ලෙස තර්කානුකූලව ජීවිතය දෙස බලන්නට පුරුදු පුහුණු වූයේ මින් පසුවයි. එසේ ම ගස්, ගල්, පර්වත, යකුන්, දෙවියන් අදහමින් සිටි අපට එම ඇදහීම අවබෝධ කරදෙමින් ක්‍රමවත්ව විධිමත්ව ශ්‍රද්ධාවන්තයින් ලෙස වන්දනා කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ කරගන්නා ලද්දේ මින් පසුවය.

වත්මන් බෞද්ධ වැසියන් මේ උදා වූ පොසොන් සඳ අද දකින්නේ ද සැණකෙළියක් සේමය. අප අද ජීවත් වන සමාජය බොහෝ සෙයින් වෙනස්කම්වලට ලක් වී ඇත. දැන් මේ සමාජය සමාජ ගැටළුවලින් පිරී පවතී. අප ගත කළ ඒ සාමකාමී සමාජය අද අපට උරුම නැත. උදා වූ පොසොන් සඳ දෙස අප අද බලා සිටින්නේ විවිධ අරගලවලට මුහුණ දුන් පසුවය. මේ වන විට රට දේශපාලනික වශයෙන් විශාල වෙනස්කම්වලට බඳුන් වී තිබේ. ආර්ථිකය පරිහානියට ලක් වී තිබේ. සමාජය හැල්මේ දුවනු ලැබේ. රට තුළ විවිධ සමාජ ගැටළු නිර්මාණය වී තිබේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළ ඒ මඟ ගමන් කළේ නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවේ. උන්වහන්සේ රටක පාලන තන්ත්‍රය කෙසේ විය යුතුද යන්නත්, ආර්ථිකය පවත්වා ගත යුතු ආකාරයත්, ලෞකික ජීවිතයේ රස වින්දනය පිළිබඳවත්, සොබාදහම පිළිබදවත්, සෞන්දර්ය රසාස්වාදය පිළිබඳවත් වදාළ සේක. සිඟාලෝවාද සුත්‍රය, අණන සුත්‍රය, ව්‍යග්ඝපජ්ජ සුත්‍රය, චක්කවත්ති සීහනාද සුත්‍රය වැනි සුත්‍ර දේශනාවන්ගෙන් ජීවිතය දැහැමි ලෙස අර්ථ පූර්ණය කරගන්නේ කෙසේ ද යන්න එම පැහැදිලි කෙරේ. වර්තමාන සමාජය දෙස ඇස් යොමන කළ බුදුන් වදාළ ධර්මය අද කෙතරම් නම් වැදගත්ද යන්න අවබෝධ වේ.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය සංසිද්ධයක් වූ මිහිඳු හිමියන්ගේ ලංකාගමනය නිසා ඝන අන්ධකාරයෙන් වැසී තිබුණු ශ්‍රී ලංකාද්වීපයට ආලෝකය උදා විය. බුද්ධ ධර්මය පමණක් නොව බෞද්ධ සංස්කෘතියක් ද අපහට උරුම කළ මෙම පොහෝ දිනය සුවිශේෂී වේ. එම ධර්මයෙන් හා සංස්කෘතියෙන් පෝෂණය වූ ලාංකිකයෝ ආධ්‍යාත්මිකව සුපෝෂණය වූහ. ඒ මිහිඳු හිමියන් ලක්දිවට රැගෙන ආ සඳහම් පණිවුඩය නිසාය. මිහිඳු හිමියන්ගේ ඒ උත්තරීතර  ශ්‍රී නාමය අද දිවයින පුරා විවිධ ආමිස පූජාවන් යටතේ සිහිපත් කරනු ලබයි. අනුරාධපුර, මිහින්තලය අද බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. තොරණ් සකස්කර ඒවා ප්‍රදර්ශනය කිරීම වැනි කලාත්මක රසාස්වාදයත්, දන්සල් පවත්වමින් ලබන්නා වූ ආධ්‍යාත්මික සුවයත්, පෙහෙවස් සමාදන් වෙමින් ලබන්නා වූ ජිවිත අවබෝධයත් වැනි ආමිස පූජාවන්ගෙන් සපිරුන ද මෙදින විවිධ සංදර්ෂණ සැණකෙළි පවත්වන්නට ද බොහෝ දෙනා සූදානම්ය. මෙම උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී අප කළ යුත්තේ අර්ථ විරහිත සුඛවිහරණයට නොව ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසීමයි. මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආ එම සඳහම් පණිවිඩය චර්යාත්මකව ගොඩනැඟීමයි.

ගයානි රණතුංග

Related posts

Leave a Comment