web analytics
comman ගවේෂණ 

පොසොන් මහේ වගතුග

ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ හයවන මාසය වන ජුනි මාසය සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ පොසොන් මස යනුවෙනි. පොසොන් මස ඇති සුවිශේෂීත්වය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම යි. දෙවන පෑතීස් නිරිඳු ඇතුළු හතළිස් දහසක් පිරිසකට චුල්ලහස්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම හා භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදු වූයේ ද පොසොන් පුන් පොහෝ දිනයක දීය. නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ඨ සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ පොසොන් පොහොය දින සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

පොසොන් මස ඇති තවත් වැදගත් දිනයක් වන්නේ ජුනි මස 05 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය යි. වර්ෂ 1972 දී පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී ගන්නා ලද තීරණයකට අනුව “මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව” 1972 ජුනි 05 වන දින සිට ජුනි 16 වැනි දිනය දක්වා ස්වීඩිනයේ ස්ටොක්හෝම් නුවර දී පවත්වන ලදී. එහි ආරම්භක දිනය වන පුනි 05 වැනි දිනය ලෝක පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදු වන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. එතැන් සිට ගතවූ දශක හතරක පමණ කාලය තුළ එක් එක් වසරවල විවිධ තේමාවන් ඔස්සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී එක් එක් වසරේ ලෝක පරිසර දිනය සැමරීම සඳහා රටවල් තෝරා ගන්නේ පිළිවෙළින් උත්තර අර්ධ ගෝලයෙන් සහ දක්ෂිණ අර්ධ ගෝලයෙන් මාරුවෙන් මාරුවටය.

පොසොන් මස ඇති තවත් වැදගත් දිනයක් වන්නේ ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක සාගර දිනය යි. සාගර අපගේ ග්‍රහලෝකයේ හඳවත බඳුය. මිනිසෙකුගේ හදවත ශරීරයේ සෑම කොටසකටම රුධිරය පොම්ප කරන්නාක් මෙන්, අප කොතැනක ජීවත් වුවද සාගරය මඟින් පෘතුවිය පුරා වෙසෙන ජනතාව එකිනෙකාට සම්බන්ධ කරයි. සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි මස 08 වන දින ලෝක සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබේ.

පොසොන් මස ඇති තවත් සුවිශේෂී දිනයක් වන්නේ ලෝක පියවරුන්ගේ දිනයයි. සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයේ දී ලෝක පියවරුන්ගේ දිනය සැමරේ. ලොව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරනු ලබයි. ලෝක පියවරුන්ගේ දිනයේ ආරම්භය වර්ෂ 1910 දී ඇමරිකාවෙන් ආරම්භ වූ අතර වර්ෂ 1916 පමණ වන විට ඇමරිකාවේ ජනාධිපතිවරයා වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කළේය.

එමෙන්ම සෑම වසරකම ජුනි 20 වන දින සැමරෙන ලෝක සරණාගත දිනය, ලොව පුරා සරණාගතයන්ගේ තත්ත්වය පිළිබඳ සම්ප්‍රජානනය නැංවීම සඳහා වෙන් කර ඇත‍.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment