web analytics
comman කාලීන 

රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද ?

ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලී නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි. තවද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු, රෞද්‍ර, සහ කුසීත මුහුණුවලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජීවත්වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුළ තවම කිඳාබැස ඇති අදහසකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුණද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙසේය.

“රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතනයකි”. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන සෘජු ලෙසම රාජ්‍ය ආයතන වේ. නමුත් සිදු වන්නේ මහජනයාට සේවය කිරීම හැරුණුකොට අන් සියළු දේම එම ආයතනවලින් සිදු වීමයි. මහජන සේවය මෙන්ම ආයතන තුළ පරිපාලනය ද විධිමත් කිරීමට සතියේ එක් දිනක්, එනම් බදාදා දින මහජන සේවයට වෙන් කර ඇත. එය එසේ කර ඇත්තේ මහජනයාට රස්තියාදු නොවී තමා පැමිණි කාරණය එක් දිනක් තුළ දී සිදු කර ගැනුමට පහසුව සැලසීමටය. කවර තරාතිරමක රාජ්‍ය සේවකයෙකු වුවද එදිනට කාර්යාලයේ සිටීම අනිවාර්යය වන්නේ මහජනයාට උපරිම සේවාවක් ලබාදීමටය. නමුත් කණගාටුවට කරුණ වන්නේ එම ලොකු ලොක්කන්ට රටේ නැති රැස්වීම්. සමීති සම්මේලන එදිනට යෙදීමය. ලොකු ලොක්කන් එසේ වෙද්දී සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට ද දහසකුත් එකක් වැඩය.

තම දරුවන් පාසලෙන් එක්කරගෙන ඒම, අතිරේක පන්තිවලට ඇරලවීම, අලුත හදන ගෙදර වැඩ කටයුතු නිසියාකාරව සිදු වන්නේදැයි බැලීමට යාම, සාරි තේරීම, රුපලාවන්‍ය පාඨමාලා පැවැත්වීම ආදී එකී මෙකී නොකී රාජකාරීන්ය. කෑම පැය තුළ මෙවැනි දේ සිදු වන්නේ නම් කම් නැත. මන්ද ඔවුන් මනුස්සයන් බැවින් මානව සම්බන්ධතා පවත්වාගෙන යාම ඔවුන්ද සිදු කළ යුතුය. ඔවුනටද ඉටු කළ යුකු යුතුකම් හා වගකීම් රාශියක් ඇත. එහෙත් එය එසේ වූ පමණින් තම රාජකාරිය පැහැර හැර තම පෞද්ගලික වැඩ කටයුතු පමණක් කිරීම යුක්ති සහගත නොවේ. තවද ඔවුන්ගේ උදෑසන තේ වේලාව පැයකි. දහවල් කෑම වේලාව පැයකි. ඒ කෙසේ වෙතත් වැඩ අවසන් වීමට මිනිත්තු 10 කට කලින් දුම්රිය හෝ බසය ඇල්ලීමට යැයි කියමින් පිටව යති. මේ කෙසේ වෙතත් කලින් වැඩට පැමිණීමක් ද නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයට පින්සිදු වන්නට දැන් නම් තත්ත්වය තරමක් සමනය වී ඇත.

මේ සියල්ල ඉවසා සිටිය හැකි නමුත් ඉවසිය නොහැක්කේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් යැපී එම ජනතාවටම රැස් විහිදුවීමය. අසරණ සාමාන්‍ය මිනිසෙක් යමක් කර ගැනීමට ගියහොත් “අද බෑ හෙට එන්න”, “ඒ මිස් අද ඇවිත් නෑ..එන දවසක් කියන්න බෑ..හෙටත් ඇවිත් බලන්න”, “මොකක්ද අයිසේ මේක හරි කරදරයක්නේ..හැමදාම එනවා ඉවරයක් නෑනේ..” යනාදී වශයෙන් හිවල් ගර්ජනා රාශියකි. මීට වඩා රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද ? සුළුතරයක් හොඳ ආචාරශීලී රාජ්‍ය සේවකයන් සිටියද බහුතරයකගේ අමනකම් නිසා පොදුවේ සියල්ලෝම පරිභවයට ලක්වීම වැළැක්විය නොහැකිය. තත්ත්වය මෙසේ වුවද දේශපාලනඥයෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකු පැමිණි විට නම් දෙකට තුනට නැවී එකත්පස්ව ඔහුට වාඩිවීමට සලස්වා තමාම කාර්යාලයේ අදාළ තැන්වලට ගොස් නිමේෂයකින් අදාළ කාර්යය කර ගෙනවිත් දෙයි.

 

බහුතරයක් වූ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමක් රාජකාරිය නිසා ලිපි ලේඛන අස්ථානගත වීම, මුදල් වංචා, ඉහළ නිලධාරීන් සිදු කරන වැරදි වලට පහළ ශ්‍රේණිවල සේවකයන් හසු කිරීම් එමටය. මේ හේතූන් නිසා තම විශ්‍රාම වැටුප්,  වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිව ලතවෙන පවුල් අනන්තය, අප්‍රමාණය. තවද පෞද්ගලික එදිරිවාදිකම් මත ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් අනන්තය. එසේම තමාට හිතවත් අය ළඟට ගැනීම උදෙසා දක්ෂ නිළධාරින් අනිසි ලෙස මාරු කිරීම්වලට ලක් කර ඔවුනට සේවය එපා කිරීම් බහුලය.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කෙසේ හෝ අප රටේ රාජ්‍ය සේවය ගුණාත්මක මෙන්ම ඵලදායි එකක් කරගත යුතුය. අප අල්ලසින් දූෂණයෙන් තොර වූ විට ඔවුනට ද ඉන් මිදීමට සිදුවේ. එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යය. වයස අවුරුදු 50 ඉක්මවූ රාජ්‍ය සේවකයා වෙනස් කළ නොහැකිය. නමුත් තරුණ රාජ්‍ය සේවකයා වෙනස් කළ හැකිය. තරුණ ජවය නිවැරදි දැක්මකට මුසු කරවීමෙන් විපුල ඵල නෙළිය හැක්කේය. රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් වූ අතීතයකට උරුමකම් කියූ අපි රාජකාරිය ශරීර කෘත්‍යයක් තරම්වත් නොවැදගත් වර්තමානයෙන් ඉක්මණින් මිදිය යුතුය.

දිනුෂිකා ආරියරත්න

Related posts

Leave a Comment