web analytics
comman ගවේෂණ 

රෝමියෝ ජුලියට් නිමැවූ ශේක්ෂ්පියර්

හිරු නොබසින අධිරාජ්‍යයේ මහ ගෙදරින් ලොවට දායාද වු ශේක්ෂ්පියර්ගේ උපත සිදුවන්නේ වර්ෂ 1564 දී ස්ට්‍රැෆඞ් අපෝන් ඇවොන් ගම්මානයේ ය. එංගලන්තයේ ජාතික කවියා, ලෙසත් බටහිර යුරෝපයේ කවියා ලෙසත් කාගේත් සිත් සතන්හි රැඳී සිටින විලියම්  ශේක්ෂ්පියර් සිය ජීවිත කාලයේ හරි අඩක් ගත කරන්නේ කලාව වෙනුවෙනි. දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පිරිමි දරුවා වූයේ විලියම් ය. සිය නිවසේ සිට සැතපුම් කාලක පමණ දුරින් පිහිටි කින්ග්ස් විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ය. ලතින් ව්‍යාකරණ හා සාහිත්‍ය පිළිබඳ අනෙක් සිසුන්ට වඩා උනන්දුවක් ඔහු තුළ තිබී ය. එනිසාවෙන් ම සාහිත්‍ය සහ කලාව වැනි විෂයන් පිළිබඳ ඔහු තුළ වූයේ අපූරු උනන්දුවක් සහ උද්දාමයකි.

අනෙක් තරුණයන්ට වඩා ඉක්මණින් තරුණ විය එළඹි විගස ඔහු විවාහ දිවියට එළඹිය. ඈන් හැගුවේ නමැති 26 හැවිරිදි යුවතිය සමග විවාහ වන විට විලියම් 18 වියට පා තැබුවා පමණි. ශේක්ෂ්පියර්ගේ පියා ව්‍යාපාරිකයෙක් වූ අතර ඒ හේතුවෙන් ශේක්ෂ්පියර්ගේ ළමා කාලය සාර්ථක හා සුඛෝපබෝගීව ගත කරන්නට හැකි වූ බව සඳහන් ය. නමුත් 1577 පමණ වන විට පියාගේ ව්‍යාපාර බංකොලොත් වීම හේතුවෙන් තම පියාගේ ව්‍යාපාර සියතට ගැනීමට ශේක්ෂ්පියර්ට සිදුවිය. පියාගේ බංකොලොත් ව්‍යාපාර හේතුවෙන් ණය බරෙන් තෙත් වූ විලියම් පාසල් ගමන පවා නතර කරන්නට අදහස් කළේ ය.

නමුත් විලියම් ශේක්ෂ්පියර්ගේ ජීවිතයේ යම් යම් සිදුවීම් සම්බන්ධව විවිධ මතභේදාත්මක කරුණු නැතුවා නොවේ. එනයින් ඔහු ගුරුවරයෙකු හෝ හමුදා සෙබලෙකු ලෙස කටයුතු කළ බවත් සඳහනක් පවතී. විවාහයෙන් පසුව දරුවන් තිදෙනෙකුත් අතැතිව විලියම් සහ පවුල ලන්ඩන් නගරයේ පදිංචියට ගියේ ය. මේ කාලවකවානුව වන විට ලන්ඩනයේ විවිධ නාට්‍ය රඟ දැක්වූ අතර ඒවා නැරඹීමට යෑමේ පුරුද්දක් විලියම් සතු විය. ඒ අනුව කුඩා කළ පටන් කලාවට තිබූ ලැදියාව නිසා නළුවෙකු ලෙස වේදිකාවට ප්‍රවිශ්ට වීමට ඔහු තීරණය කළේ ය. ලෝඞ් චෙම්බර්ලින් නාට්‍ය සමාගමට සමබන්ධව නාට්‍ය රඟ දැක්වූ ඔහු පසුව නාට්‍ය රචනයට යොමු වීය. තමන්ගේ නිර්මාණ වෙත විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රැස් වෙනු දුටු ශේක්ෂ්පියර් කෙදිනක හෝ ඒ පිළිබඳ උදම් වැනුවෙක් නොවී ය. මේ ආකාරයෙන් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය 37 ක් පමණ ජනප්‍රසාදය දිනා ගන්නට සමත් විය. නාට්‍ය රචනයෙන් නොනැවතුණු ඔහු කාව්‍ය රචනයට ද යොමු වූයේ  සොනෙට්ස් නමින් කාට්‍ය ග්‍රන්ථයක් පළකිරීමෙනි. දිගින් දිගට ම ලේඛන කලාවෙන් දස්කම් පෑ විලියම් ශේක්ෂ්පියර්ගේ නිර්මාණ ඔහු ජීවත් වූ යුගයට පමණක් සීමා වූයේ නැත. රෝමියෝ සහ ජුලියට්,  ලවර්ස් ලේබර්ස් ලොස්ට්, හැම්ලට්, මැක්බර්ත්, අ මිඞ් සමර් නයිට් ඩී්‍රම්ස්, ටෙම්පෙස්ට් වැනි නිර්මාණයන් බොහොමයක් තුළින් දේශපාලනික මතවාදයන් පිළිබඳ ආවරණයක් සිදු විය. ඒ සියලු ම නිර්මාණයන් තුළින් ප්‍රකට වූයේ ශේක්ෂ්පියර් නම් අපූර්ව නිර්මාණවේදියා සතු වූ පරිකල්පනයේ හසලබවයි. ලන්ඩන් නුවරින් සමුගන්නා විලියම් සිය උපන් ගම බලා පැමිණෙන්නේ සැඳෑ සමය සුවෙන් ගත කිරීමටයි. මිය යන විට ඔහු දේපල වලින් මෙන් ම කලාවෙන් ද දියුණු අයෙක් විය. 1616 අප්‍රේල් 25 වනදා විලියම් ශේක්ෂ්පියර් මෙලොවින් සමුගත්තේ ය. ඔහුගේ මරණය සාමාන්‍ය මරණයක් ලෙස සැලකුවත් ඔහුගේ දේහය මිහිදන් කළ සොහොනේ ඔහු විසින් ම ලියන ලද සමරු පළකයක් කොටා ඇති බැව් සඳහන් වේ. එහි සඳහන් වූයේ ‘මගේ දේහය යළ ගොඩනගන්න කිසිවෙකුට වුව මාගේ ශාපය හිමි වන’ බවයි.

සුලක්ෂි රත්නායක

Related posts

Leave a Comment