web analytics
comman ගවේෂණ 

දේශපාලන අර්බුද හා සමාජ ප‍්‍රචණ්ඩත්වය

මිනිසා ස්වභාවයෙන් ම ප‍්‍රචණ්ඩ වේ. ආගම සෞන්දර්ය කලාව සංගීතය මඟින් මිනිස් සිත් සතන් මටසිලිටි කරයි. එහෙත් ප‍්‍රකෘතිය නම් ප‍්‍රචණ්ඩත්වයයි. එය පහසුවෙන් මතුව එන අතර වැළැක්වීම පහසු නැත. ලෝකය ක‍්‍රමයෙන් දියුණුව කරා ගමන් කරයි. එය භෞතික ගුණයකි. මිනිසා සඳ තරණය කරන තරමට ලෝකය භෞතික වශයෙන් දියුණු වී පැවතිය ද මිනිමැරුම් , මංකොල්ලකෑම් , සමූහ ඝාතන , ස්ත‍්‍රී දූෂණ , ළමා අපරාධ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී පවතින ආකාරය කාට වුව ද නො රහසකි. අභාග්‍ය කොතෙක් ද යත් ඉඩම් අඟලකට පවුලක් ඝාතනය කරන මවගේ වරදට කිරි සප්පයා මරා දමන පියා විසින් සිය දියණිය දූෂණය කරන පරාජිත පේ‍්‍රමය වෙනුවට පෙම්වතිය මරා දමන යුගයක ආරම්භය සිදුව තිබේ. එනම් මිනිසාගේ ප‍්‍රකෘතිය වූ ප‍්‍රචණ්ඩත්වය දිනෙන් දින මතු වේ.

ලෝකයේ දේශපාලනමය ප‍්‍රචණ්ඩත්වය මතු වන්නේ ලෝකයේ මහා බලවතුන් කුරිරු ලෙස හා අසාධාරණ ලෙස රටවල් මෙන්න කිරීමට යාමෙනි. ඉරානය , ඉරාකය , ලිබියාව ආදී රටවල ප‍්‍රබල ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වේ. මේ තත්ත්වය පිටුපස ඇත්තේ ප‍්‍රචණ්ඩ දේශපාලනයයි. ශ‍්‍රී ලංකාව තිස් අවුරුදු යුද්ධයක් අවසන් කොට සාමකාමී වාතාවරණයකට එළඹ සිටි. මෑතක සිට සාමාන්‍ය ජනතාව කෝපයට පත් කරවා අවුස්සා වීදී බස්සන වැඩ පිළිවෙලක් රට තුළ ක‍්‍රියාත්මක වේ. සැබැවින් ම මෙම ක‍්‍රියාදාමයන් තුළින් මතු වන්නේ කුරිරු ප‍්‍රචණ්ඩත්වය බව පෙනේ. රටක අතීත ඉතිහාසය පුරා ප‍්‍රචණ්ඩත්වයෙන් ලද යහපතක් වාර්තා නො වේ. සිදුවූයේ රට ආපස්සට ගමන් කිරීමයි.

දේශපාලන වශයෙන් ජනතාව පීඩාකාරී තත්ත්වයක් ඇති වන කළ ජනතාවට ඊට විරෝධතා දැක්වීමට පරම අයිතියක් ඇත. රජයක් පත් කරන්නේ ජනතාවයි. රජයක් බලයෙන් ඉවත් කරත්නේ ද ජනතාවයි. පාලනය ජනහිතවාදී නො වන විට ජනතාව නැඟී සිටිය යුතුය. විරෝධතා සත්‍යග‍්‍රහ , වැඩ වර්ජන , පෙළපාලි සඳහා අයිතියක් ඇත. එහෙත් ඒවා සදාචාර සීමාවන් තුළ විය යුතුය. රජය හැමවිටම ජනතාවාදී විය යුතුය. ඔවුන් පරිහරණය කරන්නේ ජනතාවගේ දේපළ බව වටහා ගත යුතුය. එවිට අගතියක් සිදුවන්නේ නැත. බොහෝ නායකයින් බලයට පත් වූ පසු මේ තත්ත්වය අමතක කරනු දැකිය හැකිය. ඔවුන්ට ආ ගිය තැන් මතක නැත. කළ කී දේ ගැන වැටහීමක් නැත. ඒ හේතුව නිසා බරපතල වැරදි සිදුවේ. ජනතා දේපළ විනාශ කරන විට ජනතාවට හිංසා සිදු කරන විට ජනතාව ද ප‍්‍රචණ්ඩත්වයට යොමු වීම වැළැක්විය නො හැකිය. මේ තත්ත්වය නිසා ප‍්‍රචණ්ඩකාරීන්ගේ අරමුණු සපල වේ. ජනතාව රජයට පක්ෂපාතී වන්නේ නායකයින් ආදර්ශවත් නම් ඔවුන් දුන් පොරොන්දු ඉෂ්ට කරන්නේ නම් තම අපේක්ෂාවන් ඉටු වේ නම් පමණි. සාකච්ඡාව කවර ප‍්‍රශ්නයක් වුව ද විසඳන මාර්ගයක් වේ.

එමඟින් ගැටළු රාශියක් නිරාකරණය කරගත හැකිය. එය ද අසාර්ථක නම් ජනමාධ්‍ය වෙනත් ප‍්‍රචාරක මාධ්‍ය යොදා ගෙන ජනමතයක් ගොඩනැඟිය හැකිය. තවදුරටත් එම ප‍්‍රචාරයන් කෙරෙහි රජයක් ප‍්‍රතිචාර නො දක්වන්නේ නම් විරෝධතා ව්‍යාපාරවල යෙදිය හැකිය. එය ද අසාර්ථක වන විට සහයෝගීතා වර්ජන ව්‍යාපාරයක් ඇරඹිය හැකිය. එහිදීත් රජය මුනිවත රකින්නේ නම් ඊට ප‍්‍රතිචාර දැක්වීමට මැතිවරණයක දී අවස්ථාව උදා වේ.

ශ‍්‍රි ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට විරෝධතා ව්‍යාපාර දැනට මෙහෙය වන්නන්ගේ දෑත් පිරිසිදු දැයි සොයා බැලිය යුතුය. ඔවුන් මේ විරෝධතා ව්‍යාපාර මෙහෙයවන්නේ බලකාමය නිසා ද එසේ නැතිනම් මහජනයාට ඇති ආදරය නිසා ද යන්න සොයා බැලිය යුතු කරුණක් වේ.

ශ‍්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ පිටුපස පැහැදිලි ව පෙනෙන ලක්ෂණ දෙකක් දැකිය හැකිය. එකක් නම් මේ තත්ත්වය පසුබිමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ හා බලවේග ක‍්‍රියාත්මක වීමයි. දෙවැන්න නම් ජනතාවේ විශ්වාසය බිඳ වැටී පරාජිත වූ දේශපාලනඥයන් බලයට පත්වීම සඳහා දරණ පහත් වෑයමයි. නූගත් මිනිසුන් ඉක්මනින් අවුස්සා කුපිත කරවිය හැකිය. ඔවුන්ගේ ආවේගශීලී බව ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන් උසිගැන්විය හැකිය.

ජන ජීවිතයට ජනයා දේපළවලට හානි සිදු කරමින් නීති විරෝධී ක‍්‍රියාමාර්ග ගන්නා විට රජයේ පැත්තෙන් එය වැළැක්වීමට ගන්නා ක‍්‍රියාමාර්ගය වන්නේ කඳුළු ගෑස් , ජල ප‍්‍රහාර , රබර් උණ්ඩ භාවිතයයි. එවිට පොලිසියට පහර දෙන්නට කැරලිකරුවෝ යොමු වෙති. සමහර විටෙක ප‍්‍රතිප‍්‍රහාර වන්නේ වෙඩි උණ්ඩ විය හැකිය. මේ කලබලවලදී මරණ කිහිපයක් සිදුවුවහොන් ඒවා මෙහෙයවන්නට මළ සිරුරු වෙන්දේසි කළ හැකිය. එවිට ඔවුන්ගේ අපේක්ෂා ඉටුවෙයි.

ජාත්‍යන්තර බලවේගවලට අමුද්‍රව්‍ය සපයන්නට ජනතාව පෙලඹවීම ජාති ද්‍රෝහීකමකි. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ රට අරාජික වීම පමණක් නො ව අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන රූකඩ ආණ්ඩු , රූකඩ නායකයින් බිහිවීමය. එවිට නව යටත්විජිතවාදයක් රට තුළ ඇති වීම වැළැක්විය නො හැකිය. මේ නිසා රජයේ පැත්තෙන් ද ජනතාව දැනුවත් කළ යුතු අතර බුද්ධිමතුන් සම්භාවනීය පූජක පක්ෂය දේශපේ‍්‍රමීන් ඉදිරියට පැමිණ තත්ත්වය වටහා දිය යුතු අතර සැබෑ විරෝධතා ව්‍යාපාරයන් කවරේදැයි වටහා දිය යුතුය. එය ජන ජීවිතයට හානි නො කරන ජනතා දේපළ සුරැකෙන සාමකාමී විරෝධතා විය යුතුය. මෙහිදී රජයට ඇති වගකීම විශාලය. එබඳු විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීමට වඩා යෝග්‍ය වන්නේ ජනහිතකාමී පාලනයක් පවත්වා ගැනීම ය.

 

ඞී පී මානික්ක ආරච්චි

 

 

 

Related posts

Leave a Comment