web analytics
comman කාලීන 

සොබාදහම හා බැඳුණු ජනතාව

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම හා ක්‍රියාත්මක වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති වැදගත්ම දිනයක් වන්නේ ලෝක පරිසර දිනයයි. සෑම වසරකම ජූනි 05 වනදා මෙම දිනය සමරනු ලබයි. 1972 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක පරිසර දිනය සම්මත කරගන්නා ලදී. 1974 දී එය පළමු වරට සමරනු ලැබීය. මෙහි දී පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවීමට කටයුතු කරයි. සියලු දනමන එකතු පාදා වී තමන්ටත් අනාගත ඉදිරි පරම්පරාවටත් පිරිසිදු හරිතවත් දීප්තිමත් අනාගතයක් උදාකරලීමෙහිලා මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. පරිසරය සම්බන්ධව යම් වැඩසටහන් දියත් කිරීමට නම් ලෝකවාසී සමස්ත ජනතාව තුළ පරිසරය පිළිබඳව ලෙන්ගතු වු ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි. වසරින් වසර විවිධ තේමා මුල් කරගනිමින් ජගත් පරිසර දිනය සමරනු ලැබේ. මෙහි දී එක් එක් වසරේ ජගත් පරිසර දිනය සැමරීම සඳහා රටවල් තෝරාගන්නේ පිළිවෙලින් උත්තර අර්ධ ගෝලයෙන් හා දක්ෂිණ අර්ධ ගෝලයෙන් මාරුවෙන් මාරුවටය. ඒ ඒ වර්ෂවල දී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් තේමාවන් නිකුත් කරන අතර ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කිරීමට උත්සහ කරයි. මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ සොබාදහම හා බැඳුණු  ජනතාව යන්නයි.

මිනිසාට ජීවය ලබාදෙන පරිසර මාතාවගේ වියෝව සනිටුහන් කරමින් මෙවර පරිසර දිනය සැමරීමට අපට සිදු වේ. මිනිසා විසින් දරුණු ලෙස මෙම සොබාදහම් මාතාව විනාශ කර දමන මෙවන් යුගයක ස්වභාවික පරිසරයේ ඇති වටිනාකම අප උගත යුතු ය. හමායන මඳ පවන, සිත් වසඟ කරවන තුරුලතා, මුදු සුවඳ දෙන මල්ගොමු, සීරුවට ඇද හැලෙන මනස්කාන්ත දියඇලි මෙන් ම සවන් පිනවන පියකරු වූ විහඟ ගී අසන්නට, දකින්නට අප කළ පින් මදි වූයේ අපේ ම වරදින්ය. පරිසරය යනු අපගේ අම්මාය. අප ජීවය ලබා ගන්නේ එහි ඇති පිරිසිදු වාතාශ්‍රෙයනි. අප ඒ සොබාදහම් මාතාවට ආදරය කරමු. එහෙත් සිදු වන්නේ අනෙකකි. දියුණුවෙන තාක්ෂණය පසු පස හඹායන මිනිසාට පරිසරය ගැන වගේ වගක් නැත. සිය පරම සැපත සොයමින් වෙහෙසෙන මිනිසා සොබාදහම විනාශ කරමින් දියුණුවේ හිණිපෙත්තට නැඟීමට තැත් කරයි. නමුදු එය එසේ විය නොහැකිය. මන්ද සොබාදහම විනාශ කරමින් ඉදිරියට තබන පියවර නැවැත පසු පසට ගැනීමට සිදු වේ. අද සිදු වී ඇත්තේ එවැන්නකි. මිනිසාගේ අමනෝඥ ක්‍රියාකාරකම් නිසා ම මේ සොබාදහම කම්පා වී තිබේ. නියඟ, ගංවතුර, නායයැම් හා සුළි සුළං වැනි ආපදා සිදුවන්නේ මිනිසාගේ ම ක්‍රියාකලාපයෙහි අනිසි ප්‍රතිඵල ලෙසය. වත්මන් මිනිසා පිරිසිදු වාතාශ්‍රය ලබාදෙන වනපෙත් හෙළිපෙහෙළි කරමින් කොන්ක්‍රීට් වනාන්තර ගොඩනඟයි. විවිධාකාරයේ නව කර්මාන්තශාලා ඉදිකිරීමත් සමඟ එමඟින් පිටකරන විෂ දුම් ඕසෝන් ස්තරයට එක් වී විනාශ මුඛයට ඇද වැටී ඇත. එමෙන් ම ඒවායින් පිට කරන අපද්‍රව්‍ය එකතු වන්නේ මේ ස්වභාවික පරිසරයටයි. දිනෙන් දින වර්ධනය වන නොයෙක් රෝගාධියට හේතුවද මෙම පාරිසරික විනාශයයි. කිසිදු තැකීමකින් තොරව පරිසරයට මුදා හරින කුණු කසල වැනි නොයෙක් අපද්‍රව්‍ය නිසා විවිධ රෝගවලට ගොදුරු වීමට මිනිසාට සිදු වේ.

ඉහළම සාධනීය පාරිසරික ක්‍රියාකාරකම්වලින් යුතු ජාත්‍යන්තර දිනයක් ලෙසින් වෙන් වූ මෙදිනට පමණක් අප සොබාදහම හා බැඳීමෙන් පලක් නැත. අප උත්පත්තියේ සිටම ස්වභාවික පරිසරය සමඟ බැඳී ඇත්තෙමු. නමුත්, අද එකිනෙකා පරයා යෑමේ ආර්ථික තරඟයක හැල්මේ දුවන මිනිසුන්ට එය සිහියට නැ‍ගෙන්නේ නැත. වසරින් වසර ‍අපේ සාක්ෂරතා අනුපාතය ඉහළ යමින් පවතී. අතීත නූගත් සාමාන්‍ය වැසියන් සොබාදහම දේවත්වයෙන් සලකන ලදී. වැඳුම් පිදුම් පවත්වමින් සිය මාතාව සේ සලකා පරිසරය රැකගන්නා ලදී. ගංගා, ඇළ දොළ, ගස්වැල්, ගල් පර්වත ඔවුන්ගේ සහෝදරයෝ වූහ. අතීත වැසියන්ගේ ඒ අව්‍යාජ හැඟීම් ඉස්මතු කිරීමේ දී පරිසරයට සෙනෙහස දැක් වූ රතු ඉන්දියානු නායක සියටෙල්ගේ අදහස් ද මෙසේ සිහිපත් වේ.

“සිය දෙපා යට පිහිටි මහ පොළොවෙහි අපගේ මුතුන් මිත්තන්ගේ සොහොන් අළු ශේෂව ඇති බව ඔබේ දරුවන්ට කියාදෙන්න. අපගේ ඥාතීන්ගේ ජීවිතවලින් මහ පොළොව සරු සාර වී ඇති බව ඔබේ දරුවන්ට කියාදෙන්න. එවිට ඔවුන් භූමියට ගරු කරනු ඇත. අපගේ දරුවන්ට මහ පොළොව අපගේ මාතාව බව කියාදුන් බව ඔබ ඔබේ දරුවන්ට කියාදෙන්න. මිහිකතට සිදුවන කුමන අවාසනාවන්ත දෙයක් හෝ එහි දරුවන්ට සිදු වනු ඇත. මෙම භූමිය මිනිසුන් විසින් කෙලෙසා දැමුවහොත් ඉන් සිදුවන්නේ ඔවුන් තමාම කෙලෙසා ගැනීමක් බව සලකන්න. මේ බව අපි දනිමු. එකම ලෙයකින් එක පවුලක සියලු දෙනා බැඳ තබන්නාක් මෙන් සියලු දේ එකම හුයකින් බැඳී පවතී. මිහිකත මත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතූවක් නොව. ඔහු එහි එක් හුයක් පමණි. මෙම ජීව ජාලයට ඔහු විසින් කරන සෑම දෙයක්ම ඔහු තමාට ද කරගන්නා දෙයක් බව මතක තබාගන්න.”

ශිෂ්ටාචාර ගතවෙමින් සිටි ප්‍රාථමික මිනිසා ද සොබාදහමට විපත්තියක් සිදුවුවහොත් එය තමාට සිදු වූවක් යැයි සිතන තරමටම ඒ හා බැඳී සිටියේ ය. ඒ ඔවුන්ගේ ජීවිත පරිඥානය හා අත්දැකීම්වල පළ පුරුද්ද නිසාය. නූතනයේ වෙසෙන උගත් බුද්ධිමත් මානවයා එසේ නොවේ. ඔවුන් සිය ඇස් පනා පිටම තමාගේ පණනල රකින ඒ වායු ස්කන්ධයෝ විනාශ කර දමයි. තමා පයගසා සිටින මහපොළොව, පිරිසිදු ජලය ගලා බසින ගංගාවෝ, ඇළ දොළ විනාශ කර දමයි. ඒ නූතන මාවයාගේ උගත්කමයි.

රුපියල් කෝටි ගණන් ඉපැයූවත්, සත්මහල් ප්‍රාසාද ගොඩනැඟුවත්, අති සුඛෝපභෝගී මහා මාර්ගවල වාහනවල ගියත් කම් නැත. ඒ සෑම දෙයක්ම පරිසර සාධකයට යටත්ය. මන්ද, කෝටි මිලියන බිලියනවලට මේ සිත් සනහාලන වායු ස්කන්ධයෝ, පිරිසිදු ජලය මැවිය නොහැකි බැවිනි. එනිසා සොබා දහමෙන් උපන් ඔබ සියලුදෙනා එක්වන්න.සොබාදහම් මාතාවට ප්‍රේම කරන්න. ඇය එවිට ඔබ රකිවී. මිහිතලය සුරකින්න. ජගත් පරිසර දිනය සමරන මේ මොහොතේ සිට‍ අනාගතය දක්වා හැම තත්ත්පරයකම සොබාදහම් මාතාව විඳිමින් එය ආරක්ෂා කරන බවට සිය හෘද සාක්ෂියටම පොරොන්දු දෙන්න. සොබාදහම හා බැඳුණු ජනතාව වන අප මියෙනා තෙක්ම අප දෑස් මෙන් එය රැකගනිමු.

 

ගයානි රණතුංග

Related posts

Leave a Comment