web analytics
comman කතුවැකිය 

යහපත් ආහාර සංස්කෘතියකට පෙළ ගැසෙමු.

‘ආහාරය‘ මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. එය මිනිසාගේ භෞතික සහ ආධ්‍යාත්මික ජීවිතය පාලන කරන ප්‍රධාන සාධකයකි. මානවයාගේ ශිෂ්ටාචාරය සහ ආහාරය අතර පවතින්නේ ඓන්ද්‍රීය බැදීමකි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් මේ දක්වා මිනිසා සිය මූලික අවශ්‍යතාවක් වශයෙන් ගැනෙන ආහාරය සමග බද්ධ වීමේ ස්වභාවය මුල් කර ගෙන විවිධ ආහාර සංස්කෘති ගොඩනැගී ඇති බවක් හඳුනා ගැනීමට පිළිවන.

නූතනයේ ආහාරය පුද්ගලයාගේ දියුණුව මනින නිර්ණායකයකි. යම් ප්‍රජාවකට ආහාර ලැබීමේ අඩු වැඩි බව මත දියුණුව මනින විවිධ නිර්ණායක බිහි වී තිබේ. ප්‍රජාවට ප්‍රමාණවත් තරම් ආහාර නො පැවතීම ගැටලුවක් බවට පත් වන්නා සේ ම ප්‍රමාණයට වඩා ආහාර පැවතීම ද ගැටලුවකි. වර්තමානයේ ප්‍රජාව ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන මූලික ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් තරම් ආහාර තිබුණ ද මිනිසාට ඒවා පරිභෝජනය කිරීමට වේලාවක් හෝ අවකාශයක් නොතිබීමයි. එපමණක් නොව ආමාශ ගත රෝග, දියවැඩියාව, කෙලෙස්ටෙරෝල්, අධි රුධිර පීඩනය, පිළිකාව වැනි බෝ නොවන ඇති වීමේ ප්‍රධාන සාධකයක් බවට ආහාර පත්ව ඇත.

ආහාර රස ගැන්වීමේ හා කල් තබා ගැනීමේ උපක්‍රම ප්‍රබල රෝග කාරක තත්ත්ව නිර්මාණය කරමින් සිටියි. ආහාර පිළිබඳ පුද්ගල රුචිය වර්ධනය කිරීමේ ප්‍රචාරණ යන්ත්‍රණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. උසස් ආහාර සංස්කෘතියක් නොමැති සමාජවල ආහාර ප්‍රචාරණ යන්ත්‍රණයේ ගොදුරු බවට එකී සමාජවල ජනතාව පත් වෙමින් සිටියි.

එහි ප්‍රතිඵලයක් වන්නේ නිරෝගී, පෝෂ්‍යදායී, ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීමට ප්‍රජාවට ඇති අයිතිය අහෝසි වී යාමයි. වත්මන් ලාංකේය සමාජයේ ද නො දියුණු ආහාර සංස්කෘතික ලක්ෂණ මතු වෙමින් පවතියි. ඒ ලාංකේය සංස්කෘතියේ පැවති ඉතා දියුණු ආහාර හා විහරණ රටා යටපත් කරමිනි. එහි ප්‍රතිඵලයක් වන්නේ ඉහත කී බෝ නොවන රෝගවලට සෑම වයස් කාණ්ඩයකම ප්‍රජාව ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යාමයි.

පුද්ගල චින්තනය ගොඩනගන ප්‍රධාන වාහකය වන්නේ ආහාරය යි. බුද්ධ දේශනාව තුළ ආහාරයේ මූලික ස්වරූප කිහිපයක් පෙන්වා දී ඇත.

  1. කාබලිංක ආහාර
  2. මනෝසංසේචන ආහාර
  3. විඥාන ආහාර
  4. ස්පර්ශ ආහාර

නිරෝගී පුද්ගලයෙකු ඉහත කී චතුර්විධ ආහාරයන්ගෙන් පෝෂණය විය යුතු බව බුද්ධ දේශනාවේ දැක්වේ. නමුත් කාබලිංක ආහාර සම්බන්ධයෙන් පවත්නා ගැටලුවක් විසදාගැනීමට නොහැකි අප සෙසු ආහාර හා බැදුණු පෝෂණ ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කරන්නේ කෙසේද යන්න බරපතල ගැටලුවකි.

 

සමබල ආහාර වේලක් ඉහත චතුර්විධ ආහාරයන්ගේ එකතුවකි. සමාජ සංවර්ධනයේදී ප්‍රජාවේ  නිරෝගිමත් බව අතිශයින් වැදගත් වේ. සංවර්ධනයේ මූලික අභිප්‍රාය වන්නේ නිරෝගී ප්‍රජාවක් බිහි කිරීමයි. එනයින් බලන කළ ආහාරය හා සමාජ සංවර්ධනය අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙනේ. සංවර්ධනයේ විවිධ ඉසව් සොයා යන ලාංකේයන් වන අප ද දියුණු ආහාර සංස්කෘතියක් මෙරට ස්ථාපිත කළ යුත්තේ එබැවිනි. වස විසෙන් තොර පෝෂ්‍යදායී ගුණාත්මක කාංබලික ආහාර වේලක් ලබා දීමට කටයුතු කිරීම රජයේ වගකීමයි. එමෙන් ම එවැනි පෝෂ්‍යදායී ගුණාත්මක, නිරෝගී ආහාර වේලක් ලබාගැනීම ප්‍රජාවේ වගකීමයි. සියල්ල රජයට හෝ ප්‍රජාවට පමණක් පවරා එකී පාර්ශව වෙත බෝලය පාස් කිරීමේ ක්‍රීඩාවේ නො යෙදී සිය වගකීම් වටහා ගෙන වස විස නැති පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයක් උදෙසා ක්‍රියා කිරීමට සියලු වගකිව යුතු පාර්ශවයන් ඒකරාශි විය යුතු ය. රජයක් ප්‍රජාවත් අතර සිටින අතරමැදියාගේ වගකීම වන්නේ ද වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාරයක් ලබා දීමට උර දීමයි.

එමෙන් ම පාසල, ආගමික ස්ථාන, විශ්වවිද්‍යාල වැනි සමාජ ආයතනයන්හි වගකීම වන්නේ වස විසෙන් තොර පෝෂ්‍යදායි ආහාර වේලක් වෙනුවෙන් ජනතා ආකල්ප සකස් කිරීමයි. එමෙන් ම යහපත් ආහාර සංස්කෘතියක් ගොඩනැගීම උදෙසා ජනමාධ්‍ය පටු අලෙවිකරණ සහ ප්‍රචාරණ යාන්ත්‍රණයන්හි නොසිට මූල්‍ය ලාභයෙන් තොර වූ මහජන සේවාවන් සදහා සිය මාධ්‍ය මෙහෙවර සිදු කළ යුතුය. එනම්, යහපත් ආහාර සංස්කෘතියක සිහිනය, සිහිනයක් ම පමණක් වීමට නොදී යථාර්ථයක් බවට පත් කරගැනීමට මේ සෑම පාර්ශවයකට ම ඒකායන අරමුණ විය යුතුය.

 

සමන් රාජපක්ෂ

සංස්කාරක

2017.07.31

Related posts

Leave a Comment