web analytics
comman ගවේෂණ 

ජීවිතයත් සමඟ විප්ලව කළ විරාගයේ අරවින්ද

අරවින්ද, බතී, සරෝජනී තවමත් පාඨක හවතේ සියුම් තැන් රිදවමින් නැවත සෙනෙහසින් පිරිමදිමින් නොමැකෙන මතක සටහන් තැබූ චරිතය.පුරා වසර ගණනාවක් ගතවූවත් අදටත් මේ චරිත අපේ ඉතිහාසයේ පමනක් නොව වර්තමානයේ ද ජීවමානය.

 

විරාගය ලියැවෙන්නේ 1956 දී සිංහල සාහිත්‍යයේ සුවිශේෂි සළකුණක් තැබූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අතිනි. සිංහල නවකථා මඟින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් වේ නම් ඒ විරාගයේ ‘අරවින්ද’ යි.

 

කුමන බලවේග ආවත් ඔහු කළේ ඔහුට හරියැයි සිතුණ දේ. ඔහු නිවැරදි යැයි හිතපු දේ. එය තම හිතවතුන්ගේ, එය තම වංශවත් නෑදෑ පරපුරේ හිතවතුන්ගේ දෝෂාරෝපණයට හේතු වුණත් ඔහු ඒවාට නැමුණේ නැත. ඔහු සිටියේ අහිංසකයින්ගේ, පොඩි මිනිසුන්ගේ පැත්තේ කිව්වොත් නිවැරදිය. ඔහු තමාට වඩා අන්‍යයන් ගැන, අන්‍යයන්ගේ සුඛ විහරණය ගැන උනන්දු වුණා කිවුවොත් එයත් නිවැරදියි. ඔහු තුළ ආත්මාර්ථකාමිත්වය තිබුණේ ඉතාමත් අඩුවෙන්.  ඇත්තෙන්ම අරවින්ද කියන්නේ ජීවිතයත් එක්ක එක්තරා විදියක විප්ලවයක් කරපු කෙනෙක්. ඒ විප්ලවය නිහඬ විප්ලවයක්. කුමන බලවේග ආවත් තමන් වෙනස් නොවීම, ඉවසීම, අවශ්‍ය අවස්ථාවලදී විරෝධතාව පළ කිරීම ලෝකයා කුමන දේ කීවත් තමා යා යුතු ගමන ඉදිරියටම යාම මේ විප්ලවය තුළ අන්තර්ගතව තිබුණා.

 

‘විරාගය’ මූලික වශයෙන් ගලා යන්නේ අරවින්ද නම් එක් පුද්ගලයෙකුගේ ස්වයං ආත්ම විවේචනයක් ලෙසය. එය ඔහුගේ මරණින් පසු එය කියවන ‘සැමී’ විසින් සංස්කරණය කොට ඉදිරිපත් කරන්නක් සේ නවකථාවෙහි දැක්වේ.

 

“කවර මනුෂයෙකුගේ චරිතයෙහි වුවද චරිතයෙහි අංග එකිනෙකින් වෙන් කොට හැඳිනගත නොහැකි දේදුන්නක් වැන්නයි අරවින්දගේ සංකීර්ණ චරිතයෙහි එක් අංගයක් වත් නිශ්චය වශයෙන් හඳනාගත නොහැකි වූ මම සිතුවෙමි. දේදුන්නෙහි වර්ණ එකිනෙක වෙන් කොට හැඳිනගැනීමට වෑයම් කරන්නා මිරිඟුව ඔස්සේ ගිය එකකු මෙන් වෙහෙසෙයි”

 

“අරවින්ද තමාගේ මව්පියන්ටත් සහෝදරියටත් දැඩි ලෙස ඇල්ම කළේය. එහෙත් ඔවුන්ගේ වුවද හොඳගති මෙන් නරක ගති මිනිහෙකුගේ මළකඳ කපා පිරික්සන ව්‍යවච්ඡේඥයකු මෙන් ඔහු හෙළි කරයි. ඔහු තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළු වල සැඟවුණු අශේබන තැන්ද හෙළි කරනුයේ පාපෝච්ඡාරණයෙන් ආත්ම ශුද්ධිය පතන්නෙකු ලෙසිනි”

 

“ඔහු බුද්ධියට වඩා දියුණු කල හැඟීම් ඇත්තෙක් යි මට නිසැකවම වැටහිණි. ඔහු අනුන්ට දැක ගත හැකි සේ කෝප නොවීය; ශෝක නොවීය; ඔහු තමාගේ දයාව, කරුණාව, ආදරය වචනවලට නඟා කටින් පිට නොකළේය. එහෙත් ඔහු අප මෙන් කෝප වන්නෙක් විය. කෝපය නැඟුණු වහාම ඔහු එය අනුකම්පාවට හරවා ගත්තේය. කෝපය වුවද ආදරය වුවද මැඩ ගන්නට වෑයම් කරන්නා සිතින් පීඩා විඳියි. අරවින්ද ගෑනියකට ආලය නොකරන, කෝප නොවන කෙළෙසුන් මැඩ ගත්තෙකු ලෙස ජීවත් වූයේ තමාගේ ඇතුලු හදට වද දීමෙන් බව නිසැකය. අරවින්දගේ චරිතය හාරා ගරා එහි ඇති තිරුවාණ ගල් හා බොරළු මෙන්ම මැණික් ද සෙවීමට මා තුළ දැඩි කුහුලක් හට ගත්තේය”

 

අරවින්දගේ චරිතය කියවීමකින් තොරව විරාගය කියවිය නොහැකි ය. අරවින්දගේ චරිතය තනිකමෙන් පෙළුණු හා තර්ක බුද්ධියේත්, ව්‍යවහාරයේත් ඝට්ටනයන් හේතුවෙන් ජීවිතය කෙරෙහි දැඩි උදාසීනත්වයක් දැක්වූයෙකු ගැන හෙළි කරයි. විරා‍ගයේ ඇති අනෙක් චරිත අතරින් මේනකා, සරෝජනී, සිරිදාස හා බතී ප්‍රධාන වෙති. අරවින්දගේ චරිතය බොහෝ විට හැඩ ගැසෙන්නේත්, ගලා යන්නේත් ඔවුන් මූලික කොටගෙන ඔවුන් වටාය.

 

“මගේ ජීවිතයේ හතරමං හන්දිය සරෝජනී නිසා උපන් ආලයයි. ගතයුත් මඟ නිශ්චය කොට දැඩි සිතින් ඒ මඟ ගැනීමට තඑම් ධෛර්යයක් මට නොවීය. සරෝජනී සිරදාස හා විවාහ වූ පසු මා විසින් ගතයුතු දෙමඟින් එකක්වත් ගැනීමට වුවමනා නිර්භයත්වයෙන් මම හීනයෙක් වීමි. වලට වැද හෝ අරමකට වී අපිස් ලෙස ජීවත් වීමට නිර්භයබාවයකුත් දැඩි සිතකුත් වුවමනාය. මම ඒ දෙකින්ම තොර වූවෙක්මි.”

 

තමන්ගේ නිවස සොයුරිය විසින් අත්පත් කර ගනිද්දීත්, තමන් ප්‍රේමකල තරුණිය අනෙකකු විසින් විවාහ කර ගනිද්දීත් ඔහු ඒ සියල්ල උලේක්ෂාවෙන් ඉවසීය. තම නිවසේ මෙහෙකාරියගේ දියණියට තම වියදමින් උගන්වා පසුව ඇයව විවාහ කරදුන් ඔහු ඊට එරෙහිව වූ සමාජ අපවාදයන් කෙරෙහි නෑසු කන්ව සිටියේය. අවසානයේ ඒ හේතුවෙන්ම සිතින් හා කයින් දුර්වල අයෙකු විය. නමුත් අවසානයේදී ඔහු මියයන්නේ ඒ හේතුවෙන් ඇතිවූ කළකිරීමෙන් නොවේ. ජීවිතයේ අවසාන භාගයේදී ඔහු මනුෂ්‍යය ජීවිතය සම්බන්ධයෙන් වූ සනාතන සත්‍යයක් සාක්ෂාත් කර ගනියි. ඒ “මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූ කලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ.”  යන්නයි. අරවින්ද වූ කලී සමස්ත සමාජයටම රාගයෙන් තොරවූ ආධ්‍යාත්මික වූ විරාගයක් ගැන යථාර්තමත්ව දකින්නෙකි. රාගය යන්න මනාව තේරුම්ගත්තෙකි. මේ අනුව විරාගය ශෝකාන්ත අධ්‍යාත්මක නාටකයක් ලෙස දැක්වීම ඉතා කාලෝචිතය.

 

සානිකා ප්‍රියංජලී

Related posts

Leave a Comment