web analytics
comman කාලීන 

කැලණියෙන් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් රැසක්

වසර දෙදහස් පන්සියයක් තරම් වූ ලිඛිත ඉතිහාසයකට අපි උරුමකම් කියන්නෙමු. එහෙත් ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ බොහෝ තොරතුරු ප්‍රමාණයක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ආශ්‍රෙයන් තහවුරු වී ඇත. එසේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාක්ෂි හමුවූ ස්ථාන බොහෝමයකි. කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල පාහියංගල ලෙන, ඉබ්බන්කට්ටුව වැනි ස්ථාන ඒ අතර වෙති.

ගල් යුගය ලෝහ යුගයට සම්බන්ධ වූ ආකාරය හෝ ලෝහ යුගය ඓතිහාසික යුගයට සම්බන්ධ වූ ආකාරය ගැන මෙරට ඉතිහාසයේ තවමත් පවතින්නේ ශාස්ත්‍රීය හිඩැසකි. මෙකී හිඩැස පුරවාලිමේ ශාස්ත්‍රීය අභියෝගයට යම් ප්‍රතිචාරයක් දැක්වීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් පර්යේෂණ ව්‍යාපෘතියක් 2010 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. එය හඳුන්වා ඇත්තේ “දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය” යන තේමාවෙනි. මෙම ව්‍යාපෘතිය යටතේ පර්යේෂණ සිදු කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවය. පර්යේෂකයෝ හය දෙනෙක් මෙම පර්යේෂණය සඳහා සහභාගීව සිටිති.

මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරු වෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද යන්න පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේවයන් කැණීම් සිදු කරන්නේ බලංගොඩ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරගහමඩිත්ත වවුල් ගුහාව ආශ්‍රිතවය. එම ගුහාව ආශ්‍රිතව සිදු කළ කැණීම් තුළින් වසර 5000-6000 ත් අතර අතීතයේ මානවයක් ජීවත් වූ බවට සාධක රැසක් හමුවී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ “මේ කලාපයේ වසර 5000-6000 ත් අතර ජීවතු වූ මිනිසා දඩයමින් ඈත් වී ගොවිතැනට හුරු වූ බව විශ්වාස කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මේ ගුහාවෙන් හමුවුණ තරු වළල්ල. එම තරු වළල්ලේ ළඟ ළඟ සිදුරු 19 ක් තියෙනවා. මේ තරු වළල්ල ගලෙහි කොටාගෙන තියෙන්නේ මේ ගුහාවල ජීවත් වූ ජනතාවට සෘතු භේදය හඳුනා ගැනීමට නිර්ණායකයක් ලෙසයි. සමකයට ආසන්න උත්තර ධ්‍රවයේ රටවල ග්‍රිෂ්ම කාලයේ දි ආකාශයේ පායා තිබෙන දඩයක්කාරයාගේ හැඩයට ඇති ඔරායන් තරු මණ්ඩලය දීප්තිමත්ව පායනවා. වස්සාන සෘතුවේදී එහි දීප්තිය අඩු වෙනවා. ඉතින් මේ කලාපයේ දඩයමින් ඉවත් වි ක්‍රමයෙන් කෘෂිකර්මයට හුරු වූ මිනිසා සිය ධාන්‍ය වගා කීරීමට, ඵල නෙළා ගැනීමට සෘතු බේදය හඳුනා ගන්නේ ආකාශයේ පායා තියෙන දඩවයක්කාරයාගේ තරු වළල්ල බලලා. ඒ තරු වළල්ල පහසුවෙන් හඳුනා ගැනීමට තමයි කැලැන්ඩරයක් විදිහට තරු වළල්ල සිය ගලු ගුහාවේ කොටාගෙන තියෙන්නේ. මේ වගේ තරු වළල්ලක් මීට කලින් ඉලුක්කුඹුරේ හුණුගල් ගුහාවෙනුත් හම්බවුණා. නමුත් එකක් විතරක් හම්බවුණ නිසා අපි ඒ ගැන තැකිමක් කළේ නෑ. ඒක ස්වභාවික පිහිටීමක් හරි කැකුණ ඇට තලද්දී සිදුරුවීමක් හරි වෙන්න ඇති කියලත් හිතුණා. නමුත් ඊට නුදුරු මේ ගල්ගුහාවෙත් ඒ හැඩයට හමුවුණ නිසයි අපි විශ්වාස කළේ.

විශේෂයෙන් චීනයේ කැණීම් කළ පුරාවිද්‍යාඥයින්ටත් මේ වගේම තරු වළල්ලක් හමුවෙලා තියෙනවා. චීනෙන් ඒක ඒ අය කාලනිර්ණය කරලා ක්‍රි.පූ 4500 ක එපිට එකක් කියලා කියා තියනවා. එම තරු වළල්ලත් ඔරායන් තරු වළල්ල දැක්වෙන සංකේතයක් කියලා තමයි චිනයේ පුරා විද්‍යාඥයෝ කියලා තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ අතිත මිනිසුන් ආහාරයට ගත්තා කියලා විශ්වාස කරන්න පුළුවන් ධාන්‍ය ඇට 35ක් හමුවුණා. ඉතා සියුම් ලෙස පහර දෙන්න පුළුවන් ගල් ආයුධයකුත් හමුවුණා. තව ගල් මෙවලම් 10ක් පමණ හඳුනා ගත්තා. අපි මීට කලින් කැණීම් කළ මැද්දෙකන්ද ගල් ගුහාව, ඉලුක්කුඹුර ගුහාව මේ තැන් අතර අතීත මානවයන් බෙදාහදාගෙන ජීවත් වූ සංස්කෘතියකුත් තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ ගල් ගුහාව තුළින් හමුවු ධාන්‍ය ඇට මේ කලාපයේම වගා කරන්න ඇති” යනුවෙන් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

මේ දිනවල සිදුවන මෙම පර්යේෂණ ක්‍රියාවලිය තුළ පරමහගඩිත්ත, පින්නගල කියන ගමේ පිහිටි බදාහේන ගල් ගුහාවේ සිදුකළ කැණීම් වලදී එකළ භාවිත කළ සිතියමක් යැයි විශ්වාස කළ හැකි කලු ගලේ කළ සටහනක් ද හමුවී තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්යවරයා සඳහන් කළේ “මේ ගලේ තිත් සටහන් 500ක ප්‍රමාණයක් දක්නට තිබෙනවා. ඉතාම ආයාසයකින් මෙම සිදුරු කොටා ඇති බව පෙනෙනවා. ඒ වගේම ඒවායේ අසම්මත රටාවන් නිරීක්ෂණය කරන්නට පුළුවන්. ලෝකයේ මේ වන විට තිත් සටහන් තියෙන ගල් වාර්තා වී තිබෙනවා. මෙවැනි සිතියම් 18ක් පමණ සොයාගෙන ප්‍රකාශයට පත්කොට තියෙනවා. මේ බදාහේන ගල් ගුහාවේ තිබෙන තිත් සටහන් ගල් පර්වතය ලංකාවේ වාර්තා වී තිබෙන පළමු විශාලතම තිත් සටහනයි. වර්ග තිලෝමීටර් 25ක ප්‍රදේශයක් මේ සිතියම හරහා අනාවරණය වෙලා තියෙනවා.

එහි තිත් මගින් යම් යම් ස්ථාන සලකුණු කර ඇති අතර තිත් නොමැති ප්‍රදේශ ඝන වනාන්තර තිබුණු ප්‍රදේශ ලෙස ඔවුන් අදහස් කරන්නට ඇති බව අපි අනුමාන කරනවා. මෙවැනි ප්‍රදේශ 20ක් මේ තිත් සටහන් තුළින් පෙන්නුම් කරනවා. මේ බදාහේන ගල් ලෙනේ පුරාවිද්‍යාත්මක කැණීම් ලබන වර්ෂයේ ආරම්භ කරනවා. එවිට තවත් තොරතුරු රැසක් අපට දැන ගන්නට ලැබේවි යැයි විශ්වාස කරනවා” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සියලු සොයා ගැනිම් මඟින් යෝජනා කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව නව කතිකාවතක් ආරම්භ කිරිමේ අවශ්‍යතාවය බවයි. වසර 2500ක් නොව ඊට වසර දහස් ගණනකට පෙර සිට මේ රටේ ජීවත් වූ සංක්‍රමණික හෝමෝසාපියන්වරු විසින් මෙරටට ආවේණික ඥාන සම්ප්‍රදායක් ගොඩනැගූ ආකාරයත් එමඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඊට නියමිත හැඩතල අත්කර ගන්නා ආකාරයත් තහවුරු කිරීමට මේ පිළිබඳ විධිමත් කතිකාවතක් ගොඩනැගිම තුළ හැකියාව ලැබෙනු ඇත.

දිනුෂිකා ආරියරත්න

 

Related posts

Leave a Comment