web analytics
comman සංවාද 

පසුගියදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසි වුන ශිෂ්‍යයින් පහළොස් දෙනෙකුට විභාගය සදහා පෙනී සිටීමට අවසරය ලැබුණා. නන්දන සුදේශ් – කැලණිය ශිෂ්‍ය මහා සංගමයේ සභාපති

තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසිවුණ ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යභාවය නැවත ලබාගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපයක සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අට්ටාලයක් ස්ථාපිත කරගනිමින් විරෝධතාව දැක්වූහ. මෙම විරෝධතාව දින කිහිපයක් පුරා පැවති අතර ඒ පිළිබද සිදු කළ විමසීමකදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන සුදේශ් මහතා දැක් වූ අදහස් මෙසේ සටහන් කරමු.

“වසර ගණනාවක් තිස්සේ අපි ඉල්ලීම් කරමින් ඉන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද වෙනකම් ඒ ප්‍රශ්න වලට සාධනීය මට්ටමේ පිළිතුරු ලැබිලා නෑ. නේවාසිකාගාර වල ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න‚ නේවාසිකාගාර පාලිකාවන්ගෙන් ශිෂ්‍යාවන්ට සිදුවන අඩත්තේට්ටම් තර්ජන හා බලපෑම් ආදී ප්‍රශ්න‚ සුබසාධන ගැටලු හා පන්ති තහනම් වලට ලක්වූ විද්‍යාර්ථීන් මුදවා ගැනීම පිළිබඳ ගැටලු ආදියෙන් සාර්ථක විසඳුම් ලබා ගන්න තමයි අපි සටන් කරන්නෙ. මේ ගැටලු වලට නිශ්චිත විසඳුමක් ලබා ගන්න අපි උපකුලපතිතුමත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවා. ඒ සාකච්ඡාව තිබුණෙ පසුගිය 18 වැනිදා. ඒත් මේ කියපු ප්‍රශ්න වලට නම් සාධනීය පිළිතුරක් ලැබුණෙ නැහැ.

අද කැම්පස් වල විද්‍යාර්ථියෝ හංවඩු ගහලා ඉන්නේ එයාලා පාරට බැහැලා අරගල කරන පිරිසක්ය කියලා. කැම්පස් ළමයි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගන්න අකැමැති කියලත් හැමෝම අතරේ ප්‍රචලිත වෙලා. ඒක සම්පූර්ණ බොරුවක්. අපි මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ශිෂ්‍ය සංගමයක් විදියට සාකච්ඡා කරන්න කැමතියි. ඒත් ඒවට නිසි පිළිතුරු ලබා දෙන්න මේ වෙනකම් බලධාරීන් කටයුතු කරලා නෑ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳෙනවා නම් අපිට සටන් කරන්න අවශ්‍යතාවයකුත් නැහැනේ.

පසුගියදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තාවකාලිකව ශිෂ්‍යභාවය අහෝසි වුන ශිෂ්‍යයින් පහළොස් දෙනෙකුට විභාගය සදහා පෙනී සිටීමට අවසරය ලැබුණා. මේ නිසා සමාජ විද්‍යා පීඨයේ තිබෙන අට්ටාලයත් ඉවත් කරගත්තා. නමුත් ඉතිරිව ඇති සියලු ප්‍රශ්න වලට විසඳුම් කඩිනමින් ලබා ගැනීමයි එහිදී අරමුණු කර ගන්නේ. හැබැයි හෙටත් අපේ ප්‍රශ්න වලට නිසි පිළිතුරක් නොලැබුණොත් බහුජන සංවිධාන හා වෘත්තීය සමිති සමඟ මේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා ගැටලු වලට නිසි පිළිතුරක් ලැබෙනකම් සටන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

 

සටහන – ඉරෝෂි අචිනි කුලසිංහ

Related posts

Leave a Comment