web analytics
You are here
comman තෙවැනි ඇස 

‘මෝහිණි’….

 

 

නම ඇසූ පමණින් ඈ යකින්නකි.  පුරුෂ පාර්ශවයට ම පමණක් දෘෂ්‍ය මානවන ඈ සාම්ප්‍රදාය විසින්ම කාටත් මුණගස්වා ඇත. ඇය “මෝහිණි” නම් විය- ගීතය විසින් ඇය වෙනස් මානයකට ගෙන ගොස් ඇත. ලාංකික සමාජයේ යකින්නක් වූ මෝහිණිය ගීතයට මගින් සමාජය විසින්   පීඩාවට පත් වූ කාන්තාව නිරූපණය කරයි. ලෝකයේ උත්තරීතර මානුෂීය සංවේදනාව  දරු සෙනෙහසය. මව නම් වූ රූපය අසමාජයේ විවිධ අයුරින් ප්‍රතිරූපණය වෙයි. එසේ නිමවූ ප්‍රතිරූ සුනු විසුණු වන්යෙන් ද මහ සමාජයේ ඛේදවාචකය යහමුවේ ය. මවු ගුණ, කවි ගීත බවට පත්වූ අවස්ථා අප්‍රමාණය. තම අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන කලාකරුවෝ “කාන්තාව” තම අනූභූතිය  කර ගනිති. මෝහිණී  ගීතය ද කාන්තාවකගේ උත්තරීතර ප්‍රතිමූර්තියක්වන  මාතෘත්වය  පිළිබඳව සමාජ දෘෂ්ටියට වෙනම ඉසව්වකට හැරවූ ගීතයකි. සමාජ ඛේදවාචකයක් ඉතා සංයමයෙන් පද වැලකට ඇමිණීමට තරම් රචකයා සියුම් ලෙස වචන ගළපා  කර ඇති බව පෙනෙයි, .
ශ්‍රී ලාංකික ජන සමාජයේ යක්ෂ සංකල්පය කවදා කෙසේ කවුරුන් විසින් බිහි කළේ දැයි නිශ්චය කළ නොහැකිය. මෙම ගීතය ලියවී ඇත්තේද එවන් යකින්නක්ගේ නාමයෙනි. සම්ප්‍රදායික ජන සමාජයේ පමණක් නොව නූතනයේ පවා “ මෝහිණී ”යන සංකල්පය තවමත් අසන්නට ලැබෙයි. කෙසේ වෙතත් දරුවෙකු වඩාගෙන පැමිණෙන සුරූපී කාන්තාවක් මෝහිනී ලෙස ජනසමාජය හඳුන්වයි. තනි පංගලමේ මුණ ගැසෙන පිරිමින් වෙත දෘෂ්‍යමාන වන්නී තම දරුවා ඔවුන් අතට දී පහර දෙන බවද අසන්නට ලැබෙයි. ජනශ්‍රැතියේ එන මෙම බිහිසුණු යකින්නට රචකයා අමතන්නේ ඉතා ආදරණීය ලෙස ය.
“මෝහිණී මගේ නංගියේ
මෝහිණී ………  ආදර නංගියේ”
සමාජ සම්බන්ධතා බිඳී ගිය සමාජයක කාන්තාව යනු අනාරක්ෂිත සම්පතකි. එවන් සමාජයක යකින්නක් පවා අනාරක්ෂිත බව රචකයා කියයි. මාතෘ සෙනෙහස මෙන්ම පීතෘ සෙනෙහසද බිඳී ගිය සමාජයක් වර්තමානයේ දක්නට වෙයි. ඉඳින් පියෙක් නැති මවකගේ අසරණ බව ගීතයෙන් නිරූපිතය. කාමයෙන් වියරු වූ සමාජයක  මෝහිනියගේ දරුවා කෙරේ සෙනෙහස පෑමට තරම් කාරුණික වන්නෝ නොවෙති. ඇය පෙනී සිටින ගොම්මන ඇයට පවා අහිතකර ය.
“ගොර සපුන් ඇහැරෙනා ඇඳිරියේ – – -”
විෂම සමාජයක මානව සබඳතා පවා හඳුනා නොගත්තවුන් ඇඳිරියේ සිටින්නා වූ ගොරසපුන්මැයි. උත්තරීතරච ප්‍රේමයේ අවසාන ප්‍රතිමූර්තිය දරා  සිටින ඈ ස්වාමියෙක් නැති කාන්තාවකි. පියෙක් අහිමිව ජන්මය ලැබූ දරුවෙකු වෙත උතුම් මවු සෙනෙහස  පුදන්නට තරම් ඇය කාරුණික වන්නීය. නමුත් එසේ අසරණ වූ කාන්තාවක් කෙරේ සරණ වන්නෝ නොවෙති. කාන්තාවක් මවක් කරන්නට සමාජයේ  අසීමාන්තික පිරිසක් සිටින නමුත් ඒ සඳහා අයිසතිවාසිකම්හ කියන්නෝ නොවෙති. ඇගේ දරුවාට පියෙක් වීමට තියා සෙනෙහසින් එතමන් වෙත තුරුළු කර ගැනීමට එතරම් වූ සංවේදී හදවත් ඇත්තවුන් නැත්තේම ය.

“උඹේ දරුවා ගන්න කවුරුත් නො එන
මූසල මණ්ඩියේ
නුඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම්
අය ඇති නංගියේ……….”
ස්වාමියෙක් නොමැතිව දරුවෙක් වැදූ කාන්තාව කෙරේ සමාජය දක්වන දෘෂ්ටිය කොයි ආකාරද? කාන්තාවක් අසරණ කරන පුරුෂයා තම ලෙයින් උපන් දරුවා නොතකයි. පියෙක් අහිමි වූ දරුවෙකුට මව වූ ඇය යකින්නක් වන්නේ ම ඒ සමාජ න්‍යායට අනුවය. එනයින් මානුෂත්වය  පිරිහී වියරු  වූවන් බිහි වීම එවන් එවන් සමාජයක සාමාන්‍යයක් බවට පත්වනු නිසැක ය. එවන් සමාජයක කාන්තාව අනාරක්ෂිත වන්නේම සංස්කෘතිය හමුවේ මය.
වැදූ සැනින් තම දරුවන් මරා දමනා මවුවරු අතර තම දරුවන් වීසි කරනා මවුවරු අතර සමාජ අවලාද මැද තම දරුවන් රකිනා මවුවරු වෙති -මවකට තම දරුවා බිහිකිරීමට පවා දෙවරක් සිතීමට සිදුවන්නේ සමාජය විසින් අත්පත් කරගත් සංස්කෘතිකමය අත්තනෝමතික බාවය නිසා ය.
“සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්මනක් උනේ කොහොමද කියා දීපන් නංගියේ….”
සමාජ සංස්කෘතිය තුළ කුටුම්බය පවා වියරුවකි. කාන්තාවක් අසරණ කිරීමට පුරුෂයා පෙලඹෙන්නේ ද , අසරණ වූ  කාන්තාව සමාජයේ  ප්‍රතිකේෂ්ප වන්නේ ද එම වියරුව හමුවේ ය. වෙනස් විය යුත්තේ සංකල්පයද නැතහොත් සංස්කෘතිය ද යන්න ගැටලුවකි. දහසකුත් මෙවන් කාන්තාවන් ට   සමාජ සංස්කෘතියම වැදුම් ගෙයක් වී හමාරය. උපත ද මරණය ද තීරණය වන්නෙ සංස්කෘතිය අතිනි. ප්‍රධාන වශයෙන්ම සංස්කෘතික සාධකය හැරුණු කොට ආර්ථික සාධකය බලපාන්නේ ය. සමාජය විසින්ම දූෂණයවන කාන්තාව සමාජයේම අපවාදයට ගැරහුමට කලක් වෙයි.
සාම්ප්‍රදායික ජන සමාජයක නටබුන් ශේෂ වූ ලංකාවේ ලිංගිකත්වය කෙරේ ඇත්තේ රහසිගත සංකල්පයකි. ජීව විද්‍යාත්මක වූ මානුෂීය අවශ්‍යතාවක් වූවද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පවා නුසුදුසුය. එබැවින්  මෙවන් සමාජයක නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් පවා සිදු නොවෙයි. එබැවින් තාරුණ්‍ය සමග පුද්ගලයා අත්හදා බැලීම් තුල තම මුල් අධ්‍යනයන් සිදු කරයි. මෙහිදී ඔවුන් ජීවිතය වරද්දා ගන්නෙද නැතහොත් එවන් මානව සම්බන්ධතාවයක් වරදක් ලෙස සමාජය විසින්ම නම් කරන්නේද යන්න ප්‍රශ්නය කි.
දරුවන් මහ මඟ දමා යෑම, අතහැර යෑම, උපතින් පසු මරා දැමීම, ගං, ළිං, පොකුණු ආදියට විසි කිරීම වැනි කරුණුවලට බලපා ඇත්තේ වෛද්‍ය කරුණු නොවේ. සමාජ සංස්කෘතිකමය කරුණු ය. ගබ්සා මධ්‍යස්ථාන රැසක් රටපුරා පවතින්නේ ද, කාන්තාව ඒ කරා යොමුවන්නේ ද සෞඛ්‍ය හා වෛද්‍ය හේතු මත නොවේ. සමාජ, ආර්ථික, සංස්කෘතික හේතු මත ය . ගබ්සා මධ්‍යස්ථාන වෙත යොමු නොවන්නෙ ද සමාජ, ආර්ථික, සංස්කෘතික හේතු මත ය.
අපගේ සැබෑ ප්‍රශ්නය ඇත්තේ සමාජ ආකල්ප, සංස්කෘතික බැඳියාව හා ආගමික දේශපාලන ගැටලු මත ය. ගබ්සාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ ද, අප තවමත් උප්පැන්න සහතිකයට මවුපියන්ගේ විවාහක, අවිවාහක බව පිළිබඳ විමසයි. එයින් පිළිබිඹු වන්නේ නීත්‍යානුකූල පියවරුන් නොමැති දරුවා හා මව පිළිගැනීමට අප සූදානම් නැති බවයි. මෝහිනියට ලියවුණු ගීතයක් ලෙස බැලූ බැල්මට පෙනුනද ප්‍රබල වූ සමාජ ප්‍රශ්නයක් විවර කිරීමට නිර්මාණකරුවාට හැකියාව ලැබී ඇත.
ලෝකයේ පවත්නා සියලුම දේ “අපේ” කර ගන්නා ශ්‍රී ලාංකේයයෝ ,නවීන විලාසිතා අනුව හැඳ පැළඳ සිටිති. එහෙත් තවමත් අප තුළ ජීවත් වන්නේ 18 වැනි සියවසේ ලාංකිකයා ය. අප සමාජයේ වෙසෙන කාන්තාවන් ,අනවශ්‍ය ගැබ් ගැනීමක් බාර ගැනීමට කිසිවිටෙකත් සූදානම් නැත. ගබ්සාව නීතිගත නොකරන්නේ නම්, ආකල්ප නංවා, සමාජ සුරක්ෂිත භාවය සලසා දී, අනවශ්‍ය පිළිසිඳ ගැනීම් හේතුවෙන් උපදින දරුවන් හා මව ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී යම්කිසි ක්‍රමවේදයක් ඇතිකළ යුතු ය. ඉන් අනතුරුව, ගබ්සා නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමු කළ හැකි ය. ඒ හා සමගාමීව, සමස්ත ප්‍රජාව වෙතම ලිංගික අධ්‍යාපනය ලබාදීම ද කළ යුතු ය. සමාජය තුළ තව තවත් කාන්තාව අසරණ නොවිය යුතු ය. මෝහිණී යකින්නක් කළේ ඇගේ දාරක ස්නේහය මැයි . සත්‍ය වශයෙන් ම පියෙක් නොමැතිව දරුවෙක් වැදීම හා තමා කෙරේ ඔහු රඳවා ගැනිම තරම් උත්තරීතර යක්ශ ගතියක් ලොව ඇත්ද ? එබැවින් යකින්නක් වූ ඇය සොඳුරු යකින්නකි . මාතෘත්වයේ ප්‍රතිමූර්තියකි .
සහෘදයා හමුවේ මෙවන් සමාජ ගැටලු රාශියක් ගෙන හැර දැක්වීමට වචන ඇමුණූ ඔහු නමින් “රජී වසන්ත වෙල්ගම” ය.ගීතයේ නියම අර්ථය වටහා ගැනීමට නම් ලාංකීය ජන සමාජය අත්විඳ තිබීම වැදගත් ය.

එනම් ඔබ ද මා ද මෝහිණි හඳුනාගෙන සිටිය යුතුය. එමෙන්ම ලාංකික සමාජ සංස්කෘතිය තුළ මානව සබඳතාව කෙබඳුද යන්න වටහා ගෙන සිටිය යුතු ය. සාම්ප්‍රදායික සමාජය විසින්ම ගෙන ආ සමාජ ගැටුමක් වූ බැවින් ගීතය තුළ සාම්ප්‍රදායික ජන  සමාජය ම නිරූපණය කර ඇත.පද  සංගීතවත් කළේ ද ජන සංගීතය සිහි ගන්වමිනි. සම්මානනීය සංගීත්වේදී  “දර්ශන රුවන් දිසානායක” ගීතය පුරා යක් බෙර හඬ යොදා ගෙන ඇත. නමුත් ඔහුගේ අදහස වූයේ සහෘදයා තුළ යක්ශ බිය ඇති කිරීමට නොව සංස්කෘතියක් හමුවේ සමාජයෙන් පීඩාවට පත් වන කාන්තාවකගේ ආත්මීය ප්‍රකාශනය මතු කිරීම බව සඳහන් විය. එබැවින් ගැමි සංගීතයට ගැළපෙන මනා වූ හඬ පෞරුෂයක උරුමය ලත් “සමන් ලෙනින්” ගීතය සුගායනයේ යෙදෙයි.
ප්‍රතිභාපූර්ණ කලාකරුවන් ත්‍රිත්වයක මනා වූ සංකලනය ගීතය පුරා විනිවිඳ යයි. පද මාලාවට උචිත වූ සංගීතයත් , සංගීතයට උචිත වූ  හඬත් ගීතයට මනා රූපණයක් ලබා දී ඇත.සුභාවිත ගීතයේ නව මානයක් හෙළි කිරීමට සමත් වූ අපූර්වතම නිර්මාණයක් බව “මෝහිණී ” ගීතය සැළකිය හැකිය.
ගීතය
ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
දොළ හඩන තුං මං හන්දියේ
කවුරු එනතුරු මග බලනවද
මෝහිනී මගෙ නංගියේ
මෝහිනී ආදර නංගියේ……

උඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මංඩියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනැ තරම් අය ඇති  නංගියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනැ තරම් අය ඇති  හංදියේ…

සුරඟනට අමතකව දරුවන්
හඩද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් උනේ කොහොමද
කියා දීපන් නංගියේ…….

පද රචනය     -රජී වසන්ත වෙල්ගම
සංගීතය     -දර්ශන රුවන් දිසානායක
ගායනය     -සමන් ලෙනින්

Related posts

Leave a Comment